කොප් කමිටුවේ සභාපතිධූර සඳහා පත් කර තිබෙන්නේ වංචා සහ දූෂණ චෝදනා තිබෙන හිටපු ඇමැතිවරයෙක් බවත්
ආණ්ඩුවට රටේ වංචා දූෂණ අවම කරන්න හෝ වංචා දූෂණ වලින් තොර පාලනයක් ඇති කරන්න සූදානම් නැති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (10)  පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙනමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මුජිබර් රහුමාන් මහතා මෙසේද පැවැසීය.

‘‘පාර්ලිමේන්තුව වාර අවසාන කරලා නැවත පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කළා. පාර්ලිමේන්තුව වාර අවසාන කළාට පසුව පාර්ලිමේන්තු කමිටු වල සිටින සභාපතිවරුන්ගේ කාලයත් අවසන් වනවා. ඒ අනුව පාර්ලිමේන්තු කමිටු සඳහා අලුත් සාමාජිකයන් පත් කළ යුතු වෙනවා. පාර්ලිමේන්තුව වාර අවසාන කළාට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉදිරිපත් කරලා තිබෙන ප්‍රශ්න , පෙත්සම් නැවත අලුතින් ආරම්භ කරන්න සිදු වෙනවා.

කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයාගේ ක්‍රියාකලාපය නිසා පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න සිදුවුණා. ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවනු ලැබූ අවස්ථාවේදී හිටපු කෝප් කමිටු සභාපතිවරයා ක්‍රිකට් ආයතනයට පක්ෂපාතිව කටයුතු කළ බවට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු හිටපු කෝප් කමිටු සභාපතිවරයාට චෝදනා එල්ල කළා. ඒ අනුව හිටපු කෝප් කමිටු සභාපතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස කතානායකවරයා පැවසුවා. නමුත් ඔහු සභාපතිධූරයෙන් ඉවත් වුණේ නෑ. ඒ වගේම සභාපතිධූරයෙන් හිටපු කෝප් කමිටු සභාපතිවරයාව ඉවත් කිරිමේ තීරණය කතානාකවරයාට ගන්න බැරිවුණා. ඒ අනුව හිටපු සභාපතිවරයාව ඉවත් කිරිමේ තීන්දුව කතානායකවරයාට ගන්න බැරි වුණ නිසා පාර්ලිමේන්තුව වාර අවසාන කරන්නැයි කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. එක පුද්ගලයෙක් වෙනුවෙන් පාර්ලිමේන්තුව වාර අවසාන කරන්න සිදුවුණා. නැවත පාර්ලිමේන්තුව පටන් ගත්තාම කොප් සහ කෝපා කමිටුවල සභාපතිධූර විපක්ෂයට ලබාදෙයි කියලා පාර්ලිමේන්තුවේ විපක්ෂ කණ්ඩායම විශ්වාස කළා. යහපාලන ආණ්ඩුව සමයේ කෝප් සහ කෝපා කමිටුවල සභාපතිවරු ලෙස පත් කළේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්”