ජනාධිපතිවරයා වැල් පාලමෙන් රටේ ජනතාව එගොඩ කළ බවට ප්‍රකාශ කළත් ජනාධිපතිවරයාගේ වැල් පාලමෙන් එගොඩ වුණේ රට විනාශ කළ රාජපක්ෂවරු පමණක් බවත් මුළු රටම යථා තත්ත්වයට පැමිණි බවට ප්‍රකාශ කළත් රටේ විදුලි බිල 500%-600%ක වැඩි වීම, ජල බිල වැඩි වීම, ජීවන බර වැඩි වීම, රැකියා අහිමි වීම, කර්මාන්තශාලා වැසී යාම, තරුනයන් මහ පාරට බැසීම තුළ කොවිඩ් සමයේ මෙන් රට තුළ නව සාමාන්‍යකරණයක් ඇතිව තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නව සාමාන්‍ය යනු ජන දුක නිර්මාණය කිරීමේ සාමාන්‍ය තත්ත්වය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (9) යාපහුව ප්‍රදේශයේ පැවැති සමගි ජන බලවේග ජනපවුර වැඩසටහන අමතමිනි.

අපි ෆයිල් පෙන්වා දේශපාලන සංදර්ශන ක්‍රියාත්මක කළේ නැහැ

අද සමහර කණ්ඩායම් ෆයිල් මිටි ගණන් පෙන්වා හොරු අල්ලන්න බලය ඉල්ලා සිටින සිටියත් දැනටමත් සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ බුද්ධි මණ්ඩපය සහ නීතිඥ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් රාජපක්ෂලා මූලික අයිතිවාසිකම් කඩකළා යැයි කියන තීන්දුව විපක්ෂයේ සිටම ලබා ගත් බවත් සමගි ජන බලවේගය ෆයිල් පෙන්වා දේශපාලන සංදර්ශන ක්‍රියාත්මක නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතාව අසහනයෙන්. පාලකයෝ සුවසේ

රටේ ජනතාව අසීමිත අසහනයකින් පෙළෙන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ රට විනාශ කල පොහොට්ටු මන්ත්‍රීවරු ටික රාජපක්ෂලා සමඟ එකට එකතු වී තමන්ට රිසි සේ බෙදා ගැනීම් සිදු කරමින් සිටින බවත් මේ පාර්ලිමේන්තුවේ 113ක් සිටිනා බවත් ඒ 113 දෙනාම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ වංචාවලට පක්ෂව අත ඉස්සූ බවත් මේ රටේ දේශීය සම්පත්, ජනතා සම්පත් හා දේපල මෙන්ම මිල මුදල් හොරකම් කරපු කණ්ඩායම්වලට සමගි ජන බලවේග රජයක් තුළ කිසිදු සමාවක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සජබ රජයක් තුළ ජාතික ඉඩම් පරිහරණ සැලසුමක්

වන අලි මිනිස් ගැටුම නිරාකරණය කරන්න රජයට කිසිදු තිරසර වැඩපිළිවෙළක් නොමැති වුවත් සමගි ජන බලවේග රජයක් තුළ මෙම ගැටුම් නිරාකරණය කරන්න විධිමත් වැඩපිළිවෙළක් පවතින බවත් සමගි ජන බලවේග රජයක් තුළ පළමු වසර 5 තුළ මෙම වන අලි මිනිස් ගැටුමට තිරසර විසදුමක් ලබා දී ජාතික ඉඩම් පරිහරණ සැලසුමක් ඇති කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට තිත

නැතිබර කම නිසා ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලකට රටේ ජනතාව හසුවී ඇති බවත් දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් ආරම්භ කළ මෙම වැඩසටහන ව්‍යාපාරිකයන් විසින් ව්‍යාපාර අරමුණු පෙරදැරි කර ගෙන අසීමිත පීඩනයකට අසහනයකට ලක් කරන ආයුධයක් බවට පත් කර ඇති බවත් මේ ණය පීඩාවෙන් දුක් විදින ජනතාවගේ දුකට විසඳුමක් නියත වශයෙන්ම ලබා දෙන බවත් මෙම ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන් ශක්තිමත් නියාමනයට ලක් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

පරාටේ නීතිය අහෝසි කරනවා කියා මැතිවරණ ගුණ්ඩුවක් ලබා දුන්නා

රටේ දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් හා රැකියා නියුක්තියට 52% දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දේපල හා සම්පත් පරාටේ නීතිය හරහා වෙන්දේසි කිරීමේ කූඨ ව්‍යායාමයක නිරත වී ඇති බවත් 2024 මැතිවරණ වසරක් නිසා ඡන්ද ගුණ්ඩුවක් ලෙස එම වෙන්දේසි කිරීමේ ක්‍රියාවලිය අත්හිටුවනවා කියා කැබිනට් තීන්දුවක් ගත්තත් පෞද්ගලික මූල්‍ය ආයතන තරගයට වෙන්දේසි කිරීම් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුවට හරිහමන් කොන්දක් නැහැ

ආණ්ඩුවේ තීන්දුවත් නොසලකා හරින මූල්‍ය ආයතනවලින් පෙනී යන්නේ මේ ආණ්ඩුවට කොන්දක් නැති බවත් බැංකු පද්ධතියේ ස්ථාවරත්වය ඇති කරන්න ක්‍රමයක් නොමැති නිසා බැංකු පද්ධතිය රජය දෙන නියෝග පවා නොසලකා හැර ඇති බවත් රටේ පාලනයට ඉන්නේ කිසිදු අණසකක් ක්‍රියාත්මක කළ නොහැකි ජනාධිපතිවරයෙක් හා ආණ්ඩුවක් බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජනපතිටත් කොන්දක් නැහැ

ජනාධිපතිවරණ සිහින සැබෑ කර ගන්න විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න උත්සාහ කරන බවත් මොහු කොන්ද පණ නැති ජනාධිපතිවරයෙක් බවත් පැවසූ විපක්ෂ නායකයවරයා කියා සිටියේ රජය හරිහැටි සංගණනයක් හෝ සිදු නොකර අස්වැසුම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි.

ලර්න් ඒෂියා ආයතනය සිදු කළ සංගණනයකට අනුව දුප්පතුන් ප්‍රමාණය ලක්ෂ 30 සිට ලක්ෂ 70ක් දක්වා වැඩි වී ඇති බවත් මේ වන විට රටේ හරි අඩක් දුප්පත් වී ඇති බවත් දුප්ත්කම තුරන් කිරීමේ විධිමත් වැඩසටහනක් අවශ්‍ය බවත් ඒ සඳහා අස්වැසුම තුටුපඩුරෙන් වැඩක් නැති නිසා නව ජනසවිය වැඩසටහනක් අවශ්‍ය බවත් එය සමගි ජන බලවේග රජයක ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.