ඉකුත් (16) දින හදිසි අනතුරක් හේතුවෙන් අභාවප්‍රාප්ත, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය ඊයේ (17) රාත්‍රි 11ට පමණ මතුගම පිහිටි ඔහුගේ නිවස වෙත රැගෙන ආවේය.

නිවසේ දී විදුලි පරිපථ දෙකක් අමුනන්න ගිය අවස්ථාවේ මෙසේ විදුලි සැර වැදී ඇති අතර ඔහු නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඔහුගේ හදිසි මරණය සම්බන්ධයෙන් පාලිත තෙවරප්පෙරුම මහතාගේ වැඩිමහල් සහෝදරයාගේ පුත්‍රයෙකු පැවසුවේ ඔහුගේ පුද්ගලික වත්තේ වැඩ කරමින් සිටියදී මෙලෙස විදුලි සැර වැදී මරණයට පත් වූ බවත් රෝහලට ඇතුලත් කිරීම සඳහා දුර අනුව විනාඩි 40ක පමණ කාලයක් ගත වූ බවත්‍ ය.

හිටපු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාගේ අසීමිත සමාජ සේවාව නිසා ඉමහත් ජනාදරයට පත්වූ ඔහුගේ හදිසි අභාවය කළුතර දිස්ත්‍රික් ජනතාවට ඉමහත් සංවේගයක් ඉපදවන්නක් වන අතර මේ වන විට ඒ මහතාගේ මතුගම නිවාස ජනතාවගෙන් පිරී ඉතිර ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

palitha thewarapperuma

 

අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු (20) සෙනසුරාදා දින පාලිත තෙවරප්පරුම මහතා විසින්ම නිර්මාණය කළ භූමියේ සිදුකිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කරනවා.