කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් ප්‍රකාශ කර ඇත්තේ, යුධ සැමරුම් ස්මාරකයක් වශයෙන් බෞද්ධ සෑයක් නිර්මාණය කිරීම තමන් වහන්සේ අනුමත නොකරන බවයි.

සඳහිරු සෑය යනුවෙන් නම්කර තිබෙන එම ස්මාරකය විවෘත කිරීමට තමන් වහන්සේට ලද ඇරයුම ප්‍රතික්ෂේප කළ බවත් මෙම සෑය ඉදිකිරීම ආරම්භයේ සිටම එමගින් සිදුවන අනිටු ප්‍රතිවිපාක පෙන්වා දී එයට විරෝධය පළ කළ බවත් උන් වහන්සේ “සටහන් රේඩියෝ” නම් යූටියුබ් නාළිකාවක් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබිණි.

උන් වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ ස්වර්ණමාලි මහා සෑය තිබියදී ඒ ආසන්නයේම යුද ස්මාරකයක් ඉදිකිරීම නිසා මෙරට බෞද්ධ ශිෂ්ඨාචාරයටද බලවත් අගතියක් සිදුවන බවය. විශේෂයෙන්ම අවිහිංසාව මුල් කර ගත් බෞද්ධ දර්ශනය කෙරෙහි දෙමළ ජනතාවගේ සිත් තුළ පවතින පැහැදීම පළුදුවීමට හේතුවන බවය.

මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් දරණ මතයේ සිටින තවත් භික්ෂූන් වහන්සේලා විශාල පිරිසක් ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය අනුමත නොකරන බව සහ උන්වහන්සේලා වෙත ලැබුණු ආරාධනාව ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.