සජිත් ප්‍රේමදාස මහතා දෙවැනි වතාවටත් මැතිවරණ කොමිසමට ගිහින් ජනාධිපතිවරණයෙන් ජගයත් ජයග්‍රාහකයාට සුබ පතා රටට අලුත් දේශපාලන සංස්කෘතියක නව පරිච්ඡේදයක් එකතු කළ බවත් මේ රටේ දේශපාලනය කළ හුගදෙනෙකුට නොතිබූ පිට කොන්දක් සජිත් ප්‍රේමදාස මහතාට තිබූ බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේ සමගි ජන සංධානයේ නායකයින් විසින් ඊයේ දිනයේදී පැවැත් වූ මාධ්‍ය හමුවකට සහබාගී වෙමින්.

සමගි ජන සන්ධානයට ඡන්දය දුන්න සියලුදෙනා සංඛ්‍යාත්මකව පරාජය වුණත් ඔවුන් කිසිවෙක් දේශපාලනිකව පරාජය වී නැති බවත් සමගි ජන සන්ධානය ඉදිරිපත් කළ දේශපාලන න්‍යාය පත්‍රය අදටත් හෙටත් ඉදිරියටත් වලංගු බවත් මෙහිදී අලහප්පෙරුම මහතා අවධාරණය කරමින් කියා සිටියේය.

එතුමා වැඩිදුරටත් දැක වූ අදහස්,

‘‘මිනි කන්නන්ගේ දේශය ලෙස වසර 40 කට පෙර හදුන්වපු රටක් ප්‍රජාතන්ත්‍රවාදය රකින නිර්මල රටක් ලෙස හැදින්විම ශ්‍රි ලාංකිකයන් ලෙස අපි ලබාගත්ත ජයග්‍රහනයක්. ඒ නිසා සමගි ජන සන්ධානය ලෙස මැතිවරණ ව්‍යාපාරයට එකතු වුණ සියලු දෙනාමට, රටේ මිලියන 12 කට අධික ජනතාවට අපගේ කෘතවේදිත්වය පුදකරනවා.

මැතිවරණ ප්‍රතිඵල අනුව සමගි ජන සන්ධානය දෙවන ස්ථානයට පත්වුණා. අපි නිහතමානිව ඒ මැතිවරණ ප්‍රතිඵලය පිළිගත්තා. සජිත් ප්‍රේමදාස මහතා දෙවැනි වතාවට මැතිවරණ කොමිසමට ගිහින් ජනාධිපතිවරණයෙන් ජගයත් ජයග්‍රාහකයාට සුබ පතලා රටට අලුත් දේශපාලන සංස්කෘතියක නව පරිච්ඡේදයක් එතුමා එකතුකළා. සමහරුන්ට පිට කොන්දක් තිබුණේ නෑ ඒ ආකාරයට ජනතාවට මුහුණ දෙන්න.

සමගි ජන සන්ධානයට ඡන්දය දුන්න සියලුදෙනා සංඛ්‍යාත්මකව පරාජය වුණාත් ඔබලා දේශපාලනිකව පරාජය වෙලා නෑ. සමගි ජන සන්ධානය ඉදිරිපත් කළ දේශපාලන න්‍යාය පත්‍රය අදටත් හෙටත් ඉදිරියටත් වලංගුයි.

මැතිවරණයෙන් වැඩිම ඡන්ද ලබා ගත්තෙත් , ඊළග ඡන්ද සංඛ්‍යාව ලබාගත්තෙත් ජාතික ජනබලවේගය සහ සමගි ජන බලවෙගයයි. මේ පක්ෂ දෙකම වසර 4 කට පෙර නිර්මාණය කළ පක්ෂ. මේ වසර 4 ක ඉතිහාසයක් ඇති පක්ෂ දෙකක් දශක 5 ක සහ 6 ක ඉතිහාසයක් තිබෙන දැවැන්ත දේශපාලන පක්ෂ පසුපසුට තබමින් ඉදිරියට ආවා. මේ දේශපාලන පණිවිඩය අපි කියවා ගත යුතුයි.

නව ජනාධිපතිවරයා සහ නව රජයට ජනතාවට පක්ෂපාතිව ගන්නා ඕනෑම තිරණයකට කොන්දේසි විරහිතව පෙනි සිටිනවා , දුෂණයට , වංචාවට දුෂිතයන්ට දඩුවම් දිම සඳහා චකිතයකින් තොරව ගෙන එන ඕනෑම පනතකට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සන්ධානය එකඟතාවට පළ කරන්න සුදානම්.

ජනාධිපතිවරයා සහ නව රජය දෙස ලක්ෂ 56 ක ජනතාවක් බලාගෙන සිටිනවා. ඒ ජනතාවගේ බලාගෙන සිටිනවා මැතිවරණ වේදිකාවේදී ජනාධිපතිවරයා ලබාදුන්න ප්‍රතිඥා ප්‍රකාශ සහ අනාගත වාක්‍ය සම්බන්ධයෙන්. වර්තමාන ආණ්ඩුව ගත්ත තින්දු දෙකක් නිසා ජනතාව යම් මන්දොත්සාහි භාවයකට පත්වෙලා සිටිනවා. පහේ ශිෂ්‍යත්වය විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් එක තින්දුවක් , අධ්‍යාපන ඇමැතිතුමිය එක තින්දුවක් , ජනාධිපතිවරයා වෙනස්ම තින්දුවක් ලබාදිලා තිබෙනවා. තින්දු අතර ව්‍යාකූල භාවයක් තිබෙනවා. මේ පරස්පරතාවයන් රටක අනාගතයට ගැලපෙන්නේ නෑ. ඒ වගේම ඉන්ධන මිල සම්බන්ධයෙන් මතුවුණ කාරණයේදී ජනතාව බලාපොරොත්තු වුණ සහනය දෙන්න රජයට නොහැකි වුණා. මේ පිළිබඳව නැවත අවධානය යොමුකරන්න කියලා රජයෙන් ඉල්ලා සිටිනවා”