මාලිමා නායකයන් දැන් කියන්නේ පාර්ලිමේන්තුව සුද්ද කර එය මාලිමා මන්ත්‍රීවරුන්ගෙන් පුරවමු කියලා ය. මේ කියමන කැම්පේන් ස්ලෝගන් එකක් විදිහට හොඳ උනත් මෙවැනි ප්‍රකාශ ලංකාවේ ප්රජාතන්ත්රවාදයට එහි සාම්ප්‍රදායට හොඳ නැත. ලංකාවට නියෝජිත ප්රජාතන්ත්රවාදය ගැන දීර්ඝ ඉතිහාසයක් ඇත. එම ඉතිහාසය තුළ වෙස්ට්මින්ස්ටර් ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය මෙන්ම විරුද්ධ පක්ෂය ද එකසේ වැදගත් ය. පසුගිය කාලයේ එම නියෝජිත පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ද තවත් දියුණු වී තියුනු වී ඇත. විධායක ජනාධිපති ධුරයක් පැවතියේ මුත් අප සැමවිටම පාර්ලිමේන්තු ක්‍රමය සාධනීයව පවත්වාගෙන යාම සඳහා සමාජයක් ලෙස පුලුල්ව මහංසි වී ඇත. ඒ අනුව මේවනවිට පාර්ලිමේන්තුව තුළ තිබෙන කාරක සභාවල නායකත්වය හිමවන්නේ විපක්ෂයට ය. එනිසා විපක්ෂයක් දියකර ගෙඩියම සාක්කුවේ දාගන්නට හදනවා නම් එය රටට හිතකර නැත.
අනුර කුමාර ජනාධිපති ධුරයට පත්වූ පසුව ජනාධිපති ලේකම් කාර්යාලයේ පළමු සාකච්ඡාවට යමින් සිටි සුනිල් හඳුන්නෙත්ති මහතා රටට ප්‍රකාශ කළේ මේ බිහිව ඇත්තේ ලංකාවේ අවසන් විධායක ජනාධිපතිවරයා බවය. ඔහු ජනාධිපති ධුරයට පත්වන්නේම මේ ක්‍රමය වෙනස් කර පාර්ලිමේන්තු ක්‍රමයක් වෙත නැවත යාමට බව ඔහු එහිදී අවධාරණය කරන්නට අමතක කළේ නැත. එහෙම කියපු පක්ෂයක් තමන්ගේ මැතිවරණ සටනට සටන් පාඨයන් තේරීමේදී මෙවැනි සටන් පාඨයක් තේරුවේ ඇයි? එයින් හඟවන්නේ විධායකය අවසන් කරන්නට ජනතාවගෙන් ඡන්දය ඉල්ලා සිටියත් පැරණි රාජ්‍ය නායකයන් සේම අනුරට ද මේ ක්‍රමය වෙනස් කර පූර්ණ වෙස්මිනිස්ටර් ක්‍රමයකට යන්න ට අදහසක් නැති බවය.
එය එසේ නොවේ නම් පාර්ලිමේන්තුවේ 2/3ක බලය ලබාගෙන ඒකාධිපති ගමනක් යන්නට අවශ්‍ය මතය නිර්මානය කරගැනීමේ අවශ්‍යතාවයද මෙයින් පෙන්වන්නේ? අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මෙන්ම මාලිමාවේ නායකයන් මේ පිළිබඳව සිය මතය ප්‍රකාශ කළ යුතුය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යටතේ ද පාර්ලිමේන්තුව රබර් සීල් එකක් පමණයක් වූ බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතයයි. එවැනි පසුබිමක අනුර ජනාධිපතිවරයාත් මේ කැසකවන්නේ අතීත ජනපතිවරුන් ගිය මඟම යන්නට ද යන සාධාරණ සැකය අපිට එයි. එනිසා මාලිමාව කියන මේ සුද්ද කිරීම කුමක් ද යන්න ඔවුන් වහාම රටට පැහැදිලි කළ යුතුය.
අනුර කුමාර ජනාධිපතිවරයා පසුගිය කාලය පුරාම ප්‍රකාශ කළේ 2/3ක බලය ලැබීම දූෂණයට මඟ පෙන්වන බවය. දූෂණයට පොළඹවන බවය. එම කතාව නිවැරදි නම් ඇයි පාර්ලිමේන්තුව සුද්ද කරන්නට යෝජනා කරන්නේ යන කුකුස අපිට ඇතිවීම සාධාරණය. අපගේ පාර්ලිමේන්තු සාම්ප්‍රදායට දීර්ඝ ඉතිහාසයක් පවතී. අපේ ලෙයට අපේ ක්‍රමය බද්ධවී ඇත. එනිසා එය වෙනස් කර ඒකාධිපති ගමන් යෑම ඇගට ගුණ නැති බව ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරුන් දෙස බලා අනුර කුමාර ජනාධිපතිවරයා තේරුන් ගතහොත් හොඳය. පුරවැසියා ද මේ අවස්ථාවේ මේ සුද්ද කරමු යන මුලාවේ නොවැටිය යුතුය. දූෂිතයන් පාර්ලිමේන්තු නොයැවීමට වගබලා ගැනීම සහ මාලිමාවෙන් විතරක් පිරවීම යනු දෙකක් බව බුද්ධිමත් පුරවැසියන් සිතිය යුතුය.
-මේඝ-