පසුගිය දිනවල සමගි ජන සන්ධානයට සුභ ආරංචි දිගින් දිගටම ලැබුණ බවත් එම සුභ ආරංචි සියල්ල අනිත් සියලු දෙනාටම අසුභ ආරංචි බවත් සමගි ජනබලවේගය , සමගි ජන සන්ධානය සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඩීල් නැතිව ජනාධිපතිවරණය ජයග්‍රහනය කරන්න අවශ්‍ය වැඩකටයුතු මේ වනවිට සංවිධානය කර අවසන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවැසීය.

අද (15) සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

‘‘පසුගිය දිනවල සමගි ජන සන්ධානයට සුභ ආරංචි දිගින් දිගටම ලැබුණා. ඒ සුභ ආරංචි සියල්ල අනිත් සියලු දෙනාටම අසුභ ආරංචි බවට පත්වුණා. රටේ සිටින දැවැන්ත දේශපාලන පක්ෂ , දේශපාලන කණ්ඩායම් , පුද්ගලයින් , ජන කොට්ඨාස විශාල පිරිසක් ‍මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකතු වී සිටිනවා.

රවුෆ් හකීම් මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , කඳුරට ද්‍රවිඩ ජනතාව නියෝජනය කරන පක්ෂ , දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු නිදහස ජනතා සභාවේ පිරිස , රිෂාඩ් බදියුදීන් මහතාගේ පක්ෂය , පාඨලි චම්පික රණවක මහතාගේ දැවැන්ත සන්ධානය සජිත් ප්‍රේමදාස මහතා සමඟ පසුගිය දින කිහිපයේදී එකතු වුණා. ඒ අනුව සජිත්ට සුබ ආරංචි රනිල්ට අසුභ ආරංචි තමයි පසුගිය දවස් කිහිපයේ ලැබුණේ.

ඒ වගේම සමගි ජනබලවේගය හැර ගිය මන්ත්‍රීවරු දෙදෙනෙකුගේ මන්ත්‍රීධුර අහිමි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදුන්නා. එයත් සමගි ජනබලවේගයට සහ සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපති ජයග්‍රහනයට විශාල ජයග්‍රහනයක්.

ඒ වගේම රාජිත සේනාරත්න මහත්තයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පිලට සම්බන්ධ වෙනකොට දක්ෂ ක්‍රීඩකයෙක් වන ටී.එම් ඩිල්ෂාන් සමගි ජනබලවේගය සමඟ සම්බන්ධ වුණා. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ අඩුව ඉතාම හොදින් පුරවන්න ඔහුට හැකියාව ලැබෙනවා. ඒ අනුව පසුගිය දවස් කිහිපයේ දිගින් දිගටම සිද්ධ වුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහනය තහවුරු වන සිද්ධීන්.

ඒ වගේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙට දිනයේදී දළදා වහන්සේ වැද පුදාගෙන , මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගෙන , අන්‍යාගමික ස්ථානවලට ගොස් ආශිර්වාද ලබාගැනීමට නියමිතයි. ඉන් පසු සජිත් ප්‍රේමදාස මහතා කුරුණෑගලදී මංගල ජයග්‍රාහී මහා ජන රැළියට සහභාගි වීමට නියමිතයි.

ඉතිහාසයේ පළමු වතාවට කුරුණෑගලට දැවැත්ත ජන ගංගාවක් හෙට දිනයේදී පැමිණේවි කියලා අපිට දැනෙනවා. එ් වගේම සමගි ජනබලවේගය සමඟ හෙට දිනයේදී විශාල පිරිසක් එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. කුරුණෑගල පවත්වන ජන රැළියට සමගි ජන සන්ධානය සමඟ එක්වුණ දේශපාලන පක්ෂවල නායකයන් සියලුම දෙනාම එකතු වීමට නියමිතයි.

ඒ වගේම සමගි ජනබලවේගය , සමගි ජන සන්ධානය සජිත් ප්‍රේමදාස මහතා සමඟ ඩීල් නැතිව ජනාධිපතිවරණය ජයග්‍රහනය කරන්න අවශ්‍ය වැඩකටයුතු මේ වනවිට සංවිධානය කරලා අවසානයි. ‘‘