පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු නීතියේ රැහැනට පැය 24 ක් තුළ කොටු කරගන්නා බව ජාතික ජනබලවේගය මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළ බවත් රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වැය කොට හදපු ජනාධිපති විමර්ශන කොමිසමේ වෙළුම් සියල්ලම ජනගත කළ යුතු බව අනුර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර ප්‍රකාශ කළ බවත් එසේ නම් දැන් ඒ සඳහා අනුර දිසානායක ජනාධිපතිවරයාට අවස්ථාව ලැබී ඇති බවත් ඒ අනුව වහාම පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ කොමිසමේ ඉතිරු වාර්තා ජනගත කරන ලෙස ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය.

සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (20) පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය.

“වර්තමාන රජය බලයට පැමිණ කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කරන ක්‍රමවේද , අනුගමනය කරන වැඩපිළිවෙල සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව යුක්තිය ආධාරණත්වය ඉටුකිරීමට ඔවුන් ගන්නා වූ ක්‍රයා මාර්ග පිළිබඳව සමගි ජන බලවේගය පුදුමයට පත්වෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය දේශපාලන පොරොන්දුවක් මැතිවරණ පොරොන්දුවක් බවට පත් නොකරන ලෙස සමගි ජන බලවේගය දිගින් දිගටම ප්‍රකාශ කළා. නමුත් ජාතික ජන බලවේගය දිගින් දිගටම ප්‍රකාශ කරනවා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොලකරු නීතියේ රැහැනට කොටු කර ගැනීමට පැය විසි හතරක් ඇතුළත කටයුතු කරනවා කියලා.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර මැතිවරණ වේදිකාවලදී ප්‍රකාශ කළා මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වැය කොට හදපු ජනාධිපති විමර්ශන කොමිසමේ වෙළුම් සියල්ලම ජනගත කළ යුතුයි කියලා. අද අනුර කුමාර දිසානායක මහතා මේ රටේ ජනාධිපතිවරයා බවට පත්වෙලා සිටිනවා. එසේනම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ කොමිසමේ වාර්තාවේ ඉතුරු වෙළම් සමාජ ගත කරන ලෙස අපි ජනාධිපති අනුර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම උදය ගම්මපිල මහත්තයා කියනවා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත්කළ කොමිසමේ වාර්තා දෙකක් සඟවාගෙන සිටිනවා කියලා. එසේ නම් ආණ්ඩුව ඒ වෙළුම් දෙක සමාජගත නොකරන්නේ ඇයිදැයි කියන ප්‍රශ්නය මතුවෙනවා. මේ හරහා කවුරුන් හෝ ආරක්ෂා වෙනවාද කියන කාරණය පිළිබඳව අපි දන්නේ නැහැ. මේ වෙළුම් දෙක ජනගත නොකරන්නේ යමෙක් ආරක්ෂා කරන්න දැයි කියන සැකයත් අපට මතුවෙනවා. ඒ වගේම ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවේ පොරොන්දු වූ ආකාරයට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව මේ රටේ බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වැය කොට හදපු ඒ වාර්තාව වහාම ජනගත කරන ලෙස අපි වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා. ජනගත කිරීමට පමණක් සීමා නොවී එම වාර්තාවේ තිබෙන නිර්දේශ වහාම ක්‍රියාත්මක කරන්නැයි ද අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම වාර්තාවේ තිබෙන සියලුම ප්‍රගතිශීලී දේවල් වහාම ක්‍රියාත්මක කරන ලෙසත් වර්තමාන රජය කටයුතු කළ යුතුයි. එම වාර්තාවේ සඳහන් වී තිබෙනවා යම් යම් සංවිධාන තහනම් කළ යුතුයි කියලා. රට තුළ සංහිඳියාව ගොඩනැගීමට කටයුතු කළ යුතුයි කියලා. යම් යම් නිලධාරීන්ට අපරාධ නීතිය යටතේ දඬුවම් ලබාදිය යුතුයි කියලා. නීතිපතිවරයාගේ උපදෙස් මත එම පුද්ගලයන්ට අධි චෝදනා ගොනුකොට නීතිය ක්‍රියාත්මක යුතුයි කියලා. ඒ වගේම පාස්කු ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙසත් එම වාර්තාවේ සඳහන් වී තිබෙනවා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ කළ ජනාධිපති කොමිසමේ අනෙකුත් වාර්තා දෙකත් සමාජ ගත කොට එහි සඳහන් නිර්දේශද ක්‍රියාත්මක කරන්න වර්තමාන රජය වහාම කටයුතු කළ යුතුයි. ඒ වගේම විජිත හේරත් මහත්තයා කියනවා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකළ ජනාධිපති කොමිසමේ වාර්තාව වෙළුම් දෙකක් උදය ගම්මන්පිල මහතා සතුව තිබිම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත් වනවා කියලා. ඒ අනුව ඔවුන් පිළිගන්නවා තවත් සමාජගත නොකළ වෙළුම් දෙකක් තිබෙන බව. ඒ වගේම ඔවුන් පිළිගන්නවා ඒ වෙළුම් දෙක ප්‍රසිද්ධ නොකළ බව. ඒ වගේම ඔවුන් පිළිගන්නවා මේ වෙළුම් දෙක රහසිගත වෙළුම් දෙකක් බව.

ඒ වගේම වර්තමාන රජය ප්‍රකාශ කළා කතෝලික සභාවත් , පොලිසිය , නීතිය හා සාමය ආරක්ෂා කරන නිලධාරීන් එකතු කරගත් විනිවිදභාවයකින් යුක්ත පරීක්ෂණයක් සිදුකරන බවත් ඒ සඳහා අවශ්‍ය කමිටුව පත්කරන බවත්. නමුත් තවම එවැනි දෙයක් සිදුවෙලා නැහැ. පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් නම් පුළුවන් කියන්න බැරි නම් බැහැ කියන්න. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තිබෙන සංවේදී භාවය වර්තමාන රජය පිළිගත යුතුයි.

ඒ වගේම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු දන්නා බව ප්‍රකාශ කළා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන්නැයි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අනුව යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් අපිට පෙනී සිටීමට හැකියාව ලැබුණා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාව ගෙන්වා ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස අපි වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ජනතාවට වුණ පොරොන්දුව වහාම ඉටුකරන්න කියලා අපි වර්තමාන රජයෙන් ඉල්ලා සිටිනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සත්‍ය රටට හෙළි කරන්නයි ඉල්ලා අපි දිගින් දිගටම සටන් කළා. ඒ සම්බන්ධයෙන් අපි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගියා. වතිකානුවේ ශුද්ධෝත්තම පාප් වහන්සේ මුණගැසුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කරන ලෙස අපි එහිදි ඉල්ලා සිටියා. අපි දිගින් දිගටම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් කළා. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ කඩිනම් කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. සඟවාගෙන සිටින තොරතුරු වහාම හෙළිදරව් කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය සාධාරණත්වය ඉටු වනතුරු අපි වසර පහක් බලාගෙන හිටියා. අපිට දැඩි අවශ්‍යතාවයක් තිබෙනවා පාස්කු ප්‍රහාරයේ මහ මොලකරුවන් නීතිය හමුවට ගෙන එන්නට. ඒ නිසා වර්තමාන රජය වහාම මේ සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්තව පරීක්ෂණ කටයුතු සිදුකළ යුතුයි. රටේ දැවෙන ප්‍රශ්න පැය විසි හතරෙන් විසඳන බව ජාතික ජන බලවේගය ප්‍රකාශ කළා. නමුත් අපි කියන්නේ නැහැ පැය විසි හතරෙන් මේ ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න කියලා. නමුත් අපට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වහාම කඩිනමින් දර්ශනයක් අවශ්‍යයි”