පාර්ලිමේන්තු උපදේශක කාරකසභාවේදී විපක්ෂ නායකවරයා ලෙස තමා ද මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කැමැත්ත පළ කළ බවට වන ව්‍යාජ ප්‍රවෘත්තියක් රජය විසින් මාධ්‍ය හරහා ගෙන යන බවත් එවැනි කිසිදු තීරණයකට විපක්ෂ නායකවරයා ලෙස තමා එකඟ නොවූ බවත් අගමැතිවරය ප්‍රමුඛ රජය ටොම් පච කියමින් මැතිවරණ කල්දැමීමේ ක්‍රියාවලිය දිගටම සිදු කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

තමා සහභාගී වූයේ උපාධිධාරී කිහිප දෙනක-ුගේ රැකියා ගැටලුව, ග්‍රාමසේවා නිලධාරින්ගේ ගැටලු හා බදවා ගැනීමේ ගැටලු ඉදිරිපත් කිරීම ආදී විෂයන් ගණනාවකට බවත් ඉන් පසු තමා ඉවත් වූ බවත් එසේ ඉවත් පසු මැතිවරණ ක්‍රමය වෙනස් කිරිම සඳහා වූ රැස්වීමට තමා සහභාගී වූ බවට මාධ්‍ය ඔස්සේ ව්‍යාජ ප්‍රචාර සිදු කරමින් පවතින බවත් මෙය සම්පූර්ණ අසත්‍ය කරුණක් බවත් ටෝම් පචයක් බවත් එය සනාථ කිරීම සදහා පාර්ලිමේන්තුව සතුව වීඩියෝ පට තිබුණත් අගමැතිවරයා එය එළියට දාන්න බය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

උපදේශක කාරක සභාවේ සටහන් වල මන්ත්‍රීවරු යෝජනා කරපු දේ කතා කරපු දේවල් ඇති බවත් පුළුවන් නම් ඒ සටහන් සභාගත කරන ලෙසත් රජය මැතිවරණ කල්දාපු ක්‍රියාවලිය සාධාරණය කරන්න උපදේශක කාරක සභාව උපයෝගී කර ගත් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

එසේම විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කළේ ඡන්දය කල් දැමීම ගැන නොව නාමයෝජනා ලබා දුන් රාජ්‍ය සේවකයන්ගේ ගැටලු සම්බන්ධයෙන් බවත් එම කරුණ ඡන්දය කල් දැමීමක් හා නාමයෝජනා අවලංගු කිරිමක් යැයි අසත්‍ය ප්‍රචාර ගෙන යන බවත් පැවසූ විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ වෙනත් මන්ත්‍රිවරු ඉදිරිපත් කරන යෝජනා ස්ථිර කිරීම සම්බන්ධයෙන් සාමුහික වගකීමක් නොමැති බැවින් මෙවැනි අසත්‍ය තොරතුරු සමාජගත නොකරන ලෙස යි.

තමා ඇතුළු විපක්ෂය කිසිදු අවස්ථාවක මැතිවරණය කල්දැමීම හෝ නාමයෝජනා අහොසි කරන්න එකඟ නොවූ බැවින් මැතිවරණය කල් දැමීමට හෝ අහෝසි කිරිමට යෝජනා කළ විපක්ෂයේ මන්ත්‍රිවරුන් හෙළි කරන ලෙසත් එවැනි කිසිදු යෝජනාවක් විපක්ෂය ඉදිරිපත් කළේ හෝ එකග නොවූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

මෙවැනි ප්‍රශ්න උද්ගත වී ඇත්තේ රජය මැතිවරණවලට බය නිසා බවත් එම බය නිසා උපදේශක කාරක සභාවල විවිධ මගඩි ක්‍රියාත්මක කරන මෙවැනි ක්‍රියා අනුමත කළ නොහැකි බවත් බියගුලු නිවටයන් නොවන්නේ නම් මැතිවරණය තියන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.