ව්‍යවස්ථාදායක සභාවේ ක්‍රියාදාමය ගැන රටට වැරදි හැගීමක් නොයා යුතු බවත් වත්මන් ජනාධිපතිවරයා අවස්ථා 2කදී පොලිස්පතිවරයා සම්බන්ධයෙන් මාස 3 බැගින් නැවත පත් කිරිම් 2ක් සිදු කළ බවත් දෙවැනි මාස 3 අවසානයේ ව්‍යවස්ථාදායක සභාව විසින් මෙම පත්කිරිම ස්ථිර පත්කිරීමක් සිදු කරන ලෙස දැන්වු අවස්ථාවේ පවා ජනාධිපතිවරයා විසින් සති 3කට නැවත පත්කිරීමක් සිදු කරන ලෙස එවා තිබුණත් ඒ සදහා අනුමැතිය ලබා නොදුන් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පොලිස්පතිවරයෙක් සිටිය යුතුද නැද්ද යන්න සහ පත්කිරීමේ බලය ජනාධිපතිවරයාගේ බලය බවත් ව්‍යවස්ථාදායක සභාව ඒ සදහා අනුමැතිය ලබා දීම පමණක් සිදු කරන බවත් එම නිසා ඒ සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවට චෝදනා එල්ල වන වැරදි පණිවිඩයක් සමාජ ගත නොවිය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රකාශය තුළින් එවැනි වැරදි පණිවිඩයක් සමාජගත වන බැවින් එය නිවැරදි විය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මේ සම්බන්ධයෙන් තොරතුරු රහසිගත වුවත් විවිධ පාර්ශ්ව මෙම තොරතුරු සමාජගත කර වැරදි අර්ථකථන ලබා දීමට කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (19) පාර්ලිමේන්තුවේදී පොලිස්පතිවරයාගේ පත්කිරීම් සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා සිදු කළ ප්‍රකාශයට පිළිතුරු ලබා දෙමිනි.