මහ මැතිවරණය පැවැත්වෙන දිස්ත්‍රික්ක විසි දෙකක් සඳහා සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ නාම යෝජනා පත්‍ර සියල්ල සූදානම් කර අවසන් බවත් සෑම දිස්ත්‍රික්කයකටම නව මුහුණු ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවැසීය.

එමෙන්ම , වෘත්තීයවේදීන්ගේ සහ තරුණ , කාන්තා නියෝජනයක් මෙවර මහ මැතිවරණයේදී ඉදිරිපත් කරන්න සමගි ජන සන්ධානය කටයුතු කර තිබෙන බවත් සමගි ජන සන්ධානය ලෙස මෙවර මහ මැතිවරණයේදී හොඳ තරගයක් ලබා දී පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීමට කටයුතු කරන බවත් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.

අද (09) දින සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානය මැතිවරණ කොට්ඨාස 22 ක සඳහා නාමයෝජනා පත්‍ර සියල්ලමේ වන විට සූදානම් කර තිබෙනවා. මැතිවරණ කොට්ඨාස 22 ටම තරගකාරී ලැයිස්තු ගණනාවක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. විශාල පිරිසක් නාමයෝජනා සඳහා ඉදිරිපත් වීම අපට මේ වන විට අභියෝගයක් වී තිබෙනවා. නාම යෝජනා ලබා ගැනීමට විශාල තරගකාරීත්වයක් මේ වන විට ඇතිවෙලා තිබෙනවා. ඒ වගේම පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය තීරණය කර තිබෙනවා නාමයෝජනාවලට හැකිතාක් දුරට නව මුහුණුවරක් ලබා දෙන්න. ඒ වගේම සාම්ප්‍රදායිකව ඉදිරිපත් කරන නම් ගණනාවක් සමගි ජන බලවේගයේ නාමයෝජනා අතර තිබෙනවා. සමගි ජන බලවේගයේ සංවිධායකවරුන් , සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් , පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකටම නව මුහුණු ගණනාවක් එකතු කරලා තිබෙනවා.
වෘත්තීයවේදීන් , තරුණ හා කාන්තා නියෝජනය හැකිතාක් දුරට පුරප්පාඩු අනුව ඉදිරිපත් කරලා තිබෙනවා.
ඒ වගේම නාම යෝජනා ලබාදීමේදී චෝදනාවට ලක්වුන පිරිස් ඉදිරිපත් නොකර සිටීමට අපි කටයුතු කරලා තිබෙනවා. ජනතාව බහුතරයක් පිළිගන්නා පිරිස් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සමගි ජන බලවේගය පියවර ගෙන තිබෙනවා.

ඒ වගේම මෙවර පාර්ලිමේන්තු මැතිවරණය තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණයක්. රටේ පාලනය විනිවිදභාවයකින් යුතු පාලනයක් බවට පත්කරන්න රටේ ජනතාව සූදානමින් සිටිනවා. සංවරණ හා තුලන පාර්ලිමේන්තුවක් මහජනතාව දකින්න කැමතියි. ජනාධිපතිවරණය අවසන් කරලා ඉතාම කෙටි කාලයක් තුළ තමයි මහ මැතිවරණයට මුහුණ දීමට සිදුවෙලා තිබෙන්නේ. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන පරිසරය කුමක් වුවත් මෙවර මහ මැතිවරණයේදී සමගි ජන සන්ධානයට හොඳ තරගයක් ලබාදීමට හැකියාව තිබෙන බව අපට විශ්වාසයි. ඒ හරහා පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට අවකාශය ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා.

ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ කාරණා මහ මැතිවරණයේදී ඉදිරියට ගෙනයන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරණයේදී අපි ප්‍රකාශ කළ කාරණා මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය බවට පත්කරන්න මේ වනවිට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ වගේම අපේක්ෂකයන් විසින් පෞද්ගලිකව ඡන්ද දායකයන් මුණගැහෙන මැතිවරණ ව්‍යාපාරයක් ආරම්භ කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම ප්‍රචාරක රැස්වීම් ගණනාවක් පවත්වන්න අපි සූදානම් කරලා තිබෙනවා. ඡන්ද පොළවල් 12,000 ආවරණය වන පරිදි මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන්න අපි මේ වනවිට සැලසුම් කරලා තිබෙනවා.
පෞද්ගලිකව ඡන්දදායකයන් දැනුවත් කර ඔවුන්ගේ සිත් දිනා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන්න ඒ හරහා අපි කටයුතු කරනවා.

සමගි ජන බලවේගයට සමීප ඡන්ද දායකයින් පිරිසක් මෙවර ජනාධිපතිවරණයේදී අපට අහිමි වෙලා තිබෙනවා. සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් භාවිතා කරන්න තිබුණු ඡන්ද මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට භාවිතා කරලා තිබෙනවා. කුමක් හෝ හේතුවක් නිසා තමයි ඒ ඡන්ද ප්‍රමාණය අහිමිවෙලා තිබෙන්නේ. ඒ අහිමි වුණ ඡන්ද ප්‍රමාණය මෙවර මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සතු කර ගන්න අපි වැඩපිළිවෙළක් සකස් කරලා තිබෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රකාශ නොකර රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කළ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ඡන්ද ප්‍රමාණය දිනා ගැනීම සඳහා ගම් මට්ටමින් අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කරන්න අපි සැලසුම් කරලා තිබෙනවා. ඒ ඡන්ද දායකයන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා බිම් මට්ටමෙන් වැඩසටහනක් ආරම්භ කරන ලෙස සමගි ජන බලවේගයේ සියලුම අපේක්ෂකයන්ට අපි උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ වගේම ඡන්දය ප්‍රකාශ නොකර සිටි පිරිස ඉතාමත් ඉහළයි. ඡන්ද දායකයන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කරලා නෑ. ඔවුන්ගෙනුත් යම් කොටසක් දිනාගැනීම අත්‍යවශ්‍ය කාරණයක් ලෙස අපි දකිනවා. මේ මූලික කාරණා ඔස්සේ තමයි මැතිවරණ ව්‍යාපාරය අපි සැලසුම් කරලා තිබෙන්නේ.
ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් ලබා ගැනීමට සමගි ජන බලවේගයට අවකාශය ලබා දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව විනිවිද භාවයෙන් යුතු හොඳ පාලනයක් රට තුළ ගෙනයාමට හැකියාව තිබෙනවා.

ඒ වගේම ජනාධිපති අනුර දිසානායක මහතාගේ පාලන කාලයේ අඩු වැඩි කියන්න තවම කාලය මදියි. නමුත් ඔවුන් සම්ප්‍රදායෙන් බැහැරව යාමට කටයුතු කරලා නැහැ. ජනතාව බලාපොරොත්තු වුණේ උඩු යටිකුරු කරන වෙනසක්. උඩු යටිකුරු කිරීම සඳහා වන වෙනස ඇති කිරීමට වන මූලික පදනමවත් තවම ආරම්භ වෙලා නෑ.
තෙල් මිලේ තිබෙන බදු ඉවත් කළා නම් ජනතාවට රුපියල් සියයට ඩීසල් ලබාදීමට පුළුවන් කියලා ජාතික ජන බලවේගය පසුගිය දවස්වල මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කළා. නමුත් ඔවුන්ට සුපුරුදු පරිදිම මිල වෙනස් කරනවා හැර වෙනත් විකල්පයක් නැති බව පෙනී යනවා. ඒ වගේම විශාල ණය ප්‍රමාණයක් භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම හරහා රජයට මුදල් ඒකරාශී කිරීම ඔවුන් ආරම්භ කරලා තිබෙනවා. ණය වැඩි කර ගැනීම තමයි එයින් සිදු වෙන්නේ. අනුර දිසානායක ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය තවම පරණ පාරෙම ගමන් කරන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය හා ඉදිරි සැලසුම් පිළිබඳව තිබෙන විශ්වාසය දිනා ගැනීමටත් නොහැකි වෙලා තිබෙනවා. ජනතාව අපේක්ෂා කරන පරිපාලන වෙනස ඇති කරන්න තවම ඔවුන් කිසිදු ආකාරයක පියවරක් ගෙන නැහැ. නමුත් ජනතාව විශ්වාස කළා වෙනස් පාලන තන්ත්‍රයක් රට තුළ නිර්මාණය වෙයි කියලා.

එජාපයේ විශාල පිරිසක් සජබෙන් ඉල්ලන්න කැමැත්ත පළ කරලා

‘‘එක්සත් ජාතික පක්ෂයේ පිරිස් ගණනාවක් සමගි ජන බලවේගයෙන් නාම යෝජනා අපේක්ෂා කරමින් අයදුම් කරලා තිබුණා. ඒ නාම යෝජනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලයේ අවධානය යොමු කරලා තිබුණා. ඇතැම් අපේක්ෂකයන්ට අවස්ථාවක් දෙන්න සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය තීරණය කරනු ලැබුවා. තවත් දේශපාලන පක්ෂ ගණනාවකින් ද සමගි ජන බලවේගයේ නාමයෝජනා මණ්ඩලයට ඉල්ලීම් ගණනාවක් ලැබිලා තිබෙනවා. ඇතැම් නාමයෝජනා සමගි ජන බලවේගයේ නාම යෝජනා මණ්ඩලය සෘජුවම ප්‍රතික්ෂේප කරලා තිබෙනවා. ඒ පුද්ගලයින් බඳවා ගැනීම හරහා මහජන විශ්වාසය ගොඩනැගීම අසීරුයි.‘‘

අනුර දිසානායක මහතා ජනාධිපති වුණත් රට තිබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක

‘‘ජනතා විමුක්ති පෙරමුණ මූලික වුණ ජාතික ජන බලවේගය මෙවර ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය ලැබුවා. නමුත් ඒ ජයග්‍රහණය මහජනතාවගේ බහුතර බලයෙන් ලබාගත් ජයග්‍රහණයක් නෙවෙයි. ජනාධිපතිවරණයකදී ලබාගත යුතු සියයට පනහේ ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට ජාතික ජන බලවේගයට නොහැකි වුණා. ඡන්ද දායකයින්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් තමයි ජාතික ජන බලවේගයට ඡන්දය ප්‍රකාශ කරලා තිබෙන්නේ. ව්‍යවස්ථානුකූලව රටේ ජනාධිපතිවරයා බවට අනුර දිසානායක මහතා පත්වුණත් රට තිබෙන්නේ අවිනිශ්චිත තත්ත්වයක. ඒ අවිනිශ්චිතභාවය රටකට සුදුසු නැහැ. ඒ අවිනිශ්චිතභාවය රටේ ආර්ථික ගමනට සුදුසු නැහැ. ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් තිබුණොත් එය මගහරවා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ජනතාව විශ්වාස කරන විනිවිදභාවයකින් යුතු පාලනයක් ඇති කරන්න අපට හැකියාව තිබෙනවා. රටේ ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතා කටයුතු කිරීම අපට ප්‍රශ්නයක් නෙවෙයි. රටක ආණ්ඩුවක් කරනවා නම් නිවැරදි ප්‍රතිපත්තියක් අනුව කටයුතු කළ යුතුයි. මේ රටේ ආණ්ඩු කළ යුත්තේ කවුද කියා ජනතාව නැවත සිතිය යුතුයි. ඒ සඳහා පලපුරුදු අත්දැකීම් තිබෙන කණ්ඩායමක අවශ්‍යතාවය ජනතාවට දැන් දැනිලා තිබෙනවා. සමගි ජන බලවේගය ඉදිරිපත් කළ වැඩපිළිවෙළ පිළිබඳව ජනතාවට දැන් ක්‍රමානුකූලව දැනෙන්න පටන්ගෙන තිබෙනවා. සමගි ජන සන්ධානයට සමගි ජන බලවේගයට ඒ ශක්තිය ජනතාව ලබා දුන්නොත් දේශපාලන ස්ථාවරය රට තුළ ගොඩනගලා ආර්ථිකය ශක්තිමත් කරන්න අපට හැකියාව තිබෙනවා.‘‘