අපේ රට සැප්තැම්බර් 27 වන විට විදේශීය ණය ප්‍රතිවුහගතකරණය පිලිබදව අවසන් නිගමනයකට එළඹිය යුතුව තිබෙන බවත් මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) පිලිබදව රට තීරණාත්මක තැනක සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

තවමත් රජය ඒ පිලිබදව එකගතාවයකට පැමිණ නොමැති බවත් චීනයට, ජපානයට, ඉන්දියාවට සහ අනෙකුත් රටවල් වලින් ලබාගෙන ඇති ණය ගෙවීම පිලිබදව එකගතාවයකට නොආවොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදක්ලේ  (IMF) දෙවැනි වාරිකය ලබාගැනීම ප්‍රමාද වන බවත් ඒ හරහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාවය ඇහිරෙන බවත් එතුමා පැවසීය.

රජයේ පාර්ශව විසින් රට හොද අතට හරි ඇති බව පැවසුවත් මේ වන විට IMF කොන්දේසි සම්පූර්ණ කරලා තියෙන්නේ 30%ක් පමණක් බවත් විශාල බුද්ධි ගලනයක් සිදුවී ඇති බවත් ගුවන් නියමුවන් පමණක් 60ක් පමණ රට හැරගොස් ඇති බවත් බුද්ධිගලනය නවතා ගැනීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර යුතු බවත් දේශීය ණය වර්ගීකරණය කරන pitch rating වැනි ආයතන අපේ රට වර්ගීකරණයෙන් තවදුරටත් පහත දමා ඇති අතරම බැඳුම්කර අතිනුත් අපි පහල දමා ඇති බව එතුමා පැවසීය.

වර්තමානයේ රට තුල විශාල වශයෙන් වැඩි වී තිබෙන අපරාධ රැල්ල සහ සියදිවි නසාගැනීම් දෙස බලන විට රටේ ආර්ථික තත්වය මැනගත හැකි බවත් channel 4 හෙළිදරව්ව පිලිබදව සොයාබැලීමට දේශීය හෝ විදේශීය ඕනෑම ආකාරයක නිවැරදි පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් අවශ්‍ය වන්නේ කෙසේ හෝ රටේ ජනතාවට සත්‍ය හෙළිදරව් කිරීම සහ වින්දිතයන්ට යුක්තිය ඉටුකිරුම බවත් අත්තනායක මහතා මෙහිදී කියා සිටියේය.