2022.06.20

සමගිජනබලවේගයේ  මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිකුත්කළ මාධ්‍යනිවේදනය.

රටේ උද්ගතව ඇති ගැටලු විසඳීමට හෝ ඒ පිළිබඳව ජනතාව ට විශ්වාස කළ හැකි විසදුමක් හෝ ලබාදීමට ආණ්ඩුවට හැකියාව ඇති බවට එත්තු ගැන්වීමට මේ මොහොතේ ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව අපොහොසත් වි තිබේ.

රටේ ජනතාව සිය මුලික අවශ්‍යතා හෝ සපුරා ගැනිමට නොහැකිව මහමග මැරි වැටෙන තත්ත්වයට පත්ව තිබේ.

රටේ ජනතාව විදින දුක්පීඩා පිළිබඳව අවබෝධයක් නොමැතිව ජනාධිපතිවරයා සුපුරුදු ලෙස ගැසට් ගැසිමටත් මාධ්‍ය නිවේදන නිකුත් කිරිමට හා තීරණ නොගන්නා රැස්වීම් පැවැත්වීමට සුපුරුදු පරිදි  කටයුතු කරයි.

මෙම වංචනික පිළිවෙත ට එරෙහිව ගොඨාගෝ ගම අරගලකරුවන් යලිත් සිය අරගලය ආරම්භ කොට ඇත්තේ ජනාධිපතිවරයා ගේ අරමුණ අභියෝගයට ලක් වු තමා ගේ සහ පවුලේ බලය සුරක්ෂිත කර ගැනීම පමණක් බව මැනවින් පෙන්වන නිසාවෙනි .

රටේ  ස්ථාවර දේශපාලනයක් සදහා ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත්වීම අනිවාර්ය කොන්දේසියකි. එය යටපත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්කොට රටේ ජන අරගලය යටපත් කිරිමට දැරූ නිර්ලජ්ජිත උත්සාහය හෙලිදරව් වී ති‌බේ.

එයට එරෙහිව අරගලකරුවන් ජනාධිපති කාර්යාලය අභියස පවත්වන උද්ඝෝෂණයට පොලිස් ප්‍රහාරයක් එල්ල කරමින් මර්දනය කිරිමට දරන උත්සාහය අපි දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. එමෙන්ම ජනතා අභිලාසය වෙනුවෙන් පෙනි සිටින අරගලකරුවන් අනීතික ලෙස අත් අඩංගුවට ගැනීම හෙලා දකිමු.

තම බලය කෙසේ හෝ රැක ගැනිමට උත්සාහ දරන ජනාධිපතිවරයා මෙන්ම ගොඨාගෝ ගමට ආරක්ෂාව සහ පහසුකම් සලසන බව කියු ජනවරමක් නොමැති අගමැතිවරයා ද කල යුත්තේ ජනතා මතයට හිස නමා සැබෑ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශය සලසා දිමට තනතුරු වලින් ඉල්ලා අස්විමයි.

අත්අඩංගුවට ගත් සියලුම අරගල කරුවන් වහාම නිදහස් කරන ලෙසත් පොලිසිය දිගින් දිගටම සිදු කරන මර්දනය නවතන ලෙසත් අප බල කරමු .

ඉන්ධන පෝලිම් අසල සිදුවන පොලිස් පහරදිම් මෙන්ම සාමකාමී උද්ඝෝෂණ වලට එරෙහිව සිදු කරන පොලිස් පහරදිම් වලට එරෙහිව සමගි ජන බලවේගයේ නීතිමය සහාය අවශ්‍ය සියලු දෙනාටම  ලබාදීමට පියවර ගන්නා බව ද සදහන් කරමු.

රංජිත් මද්දුම බණ්ඩාර, 
මහ ලේකම්, 
සමගි ජන බලවේගය.