රට ගොඩ ගන්න තියෙන එකම විකල්පය ගෝඨාභය රනිල් හොර ආණ්ඩුව එළවීම බව අද (20) රට බේරා ගැනීමේ මෙහෙයුම විපක්ෂනායක කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

අපේ රට ගොඩ ගැනීම සඳහා තියෙන එකම ක්‍රියාමාර්ගය ගෝඨාභය රනිල් හොර ආණ්ඩුව පලවා හැරීමයි. මේ රට ඒ ඛේදනීය සෝචනීය තත්ත්වයට වැටිල තියෙන්නේ අදක්ෂ අකාර්යක්ෂම දුර්වල ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටු ආණ්ඩුව නිසයි. මේ ආණ්ඩුවට රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැහැ. ජනතාවගේ ජීවත් වීමේ අයිතිය ලබා දෙන්නට බැහැ අදටත් පෝලිම් යුගය එලෙසම තියෙනවා. ඒ තත්ත්වය එන්න එන්නම වර්ධනය වෙලා. ගෝඨාභය රනිල් ආණ්ඩුවට දේශීය පිළිගැනීමකුත් නැහැ ජාත්‍යන්තර පිළිගැනීමකුත් නැහැ පොරොන්දු වුනු ආකාරයට රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට විසඳුම් නැහැ .අපි සතුව තිබෙනවා රටේ ප්‍රශ්න වලට විසඳුම්. එය තමයි සමගි ජන බලවේගය සමගි ජන සන්ධානය ප්‍රමුඛ තාවකාලික සර්ව පාක්ෂික රජයක් පිහිටුවා ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ලබාදීලා කෙටි කාලයක් තුළ අලුත් ජනවරමක් ලබා ගෙන අඛණ්ඩව වසර පහක රාජ්‍ය පාලනයක් තුළ මේ රටේ සාර්ව ආර්ථික විචල්යයන් ක්ෂුද්‍ර ආර්ථික ස්ථාවරත්වය ස්ථාපනය කරලා අපේ රට සැමට සෞභාග්‍යය උදා කරන දැවැන්ත ආර්ථික ශක්තියක් සංවර්ධනයක් කරා ගෙනයෑම .

එය සිද්ධ කරන්නට අප සතුව දක්ෂ පක්ෂ හපන්කම් තිබෙන නිපුණතාවයන් හැකියාවන් තිබෙන උගත් බුද්ධිමත් ප්‍රායෝගික කණ්ඩායමක් සිටිනවා. ඉලක්කගත කාල වකවානු සහිත කාල රාමු තුළ රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් අප සතුව තිබෙනවා.

මේ මොහොතේ ගෝඨාභය රනිල් රජයෙන් ඉල්ලීමක් කරනවා ඔබලාට වැඩ බැහැ රටේ ජනතාවට සහන දෙන්න බැහැ රට ශක්තිමත් කරන්න බැහැ ජනතාව ජීවත් කරවන්න බැහැ කරුණාකරලා තවදුරටත් රටත් ජනතාවත් කාලකන්නි කරවන්නේ නැතුව ඛේදනීය තත්ත්වය තවදුරටත් වර්ධනය කරන්නේ නැතුව වගකීම අපිට බාර දීලා ගෙදර යන්න .අපි සූදානම් වගකීම බාර අරගෙන මේ රට මේ වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්න.