රටටම ගිනි තබා මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වූයේ පසුගිය 9 වෙනිදාය. අගමැතිගේ ඉවත් වීමත් සමගම කැබිනට් මණ්ඩළයද අහෝසි වන්නේය. දින දෙකක් ගතව ඇතත් තවමත් ලංකාවට
දේශපාලන නායකත්වයක් කබා දීමට කිසිදු පාර්ශවයක් සමත්ව නැත්තේය. මේ වන විට ජනතාව බලාපොරොත්තුවන නායකයා අන් කවරෙක්වත් නොව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව රහසක් නොවේ. එහෙත් සමගි ජන බලවේගයේ නායකයා මේ මොහොතේ ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ කොලේ වසා ගසන්නට යන සූදුවට ලන්සු තබන්නට තරම් මෝඩයෙක් නොවේ. එහෙයින් ඔහු රටේ නායකත්වය භාර ගන්නට සාධාරණ කොන්දේසියක් ඉදිරි පත් කරන්නේය. ඒ ජනාධිපතිවරයා ඉල්ලා අස්වන්නේ නම් තමා නායකත්වය භාර ගන්නා බවයි. මුළු රටම එය සාධාරණ කොන්දේසියක් බව පිළිගෙන අවසානය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති දෙස ලංකාවේ මතු නොව ලෝකයේම අය බලන්නේ අසමත් නායකයෙකු ලෙසය. ඔහුගේ දේශපාලන කථා සියල්ලේම ඇත්තේ තම නොදැනුවත් කම පිළිබඳ පසු තැවීම්ය. කරුණු නොදැන ගන්නා ලද තීන්දු තීරණ වල වැරදි සහගත බව ගැන හඬා වටීම්ය. ධූරයට පත්වූ දා සිට කළ සියළුම දේ වැරදී ගියේය. ලොකුම හානිය වූයේ කෘෂිකර්මයටය. කෙටියෙන් කිවහොත් ජනාධිපති ඝෝථාභය සම්පූර්ණයෙන්ම ෆේල් වී අවසානය. ෆේල් නායකයෙකු සමග රටකට ඉදිරි ගමනක් නැත්තේමය. විශේෂයෙන් ජාතික ආර්ථිකය විනාශ වී කෑම බීම ඖෂධ, ඉන්ධන, ගෑස් ආදී මහජනයාගේ අත්‍යාවශ්‍ය කරුනු කාරනා සියල්ල සැපයීම බිඳ වැටී, ණය වාරික ගෙවාගත නොහැකිව බංකොළොත්වූ රටකට අසමත් නායකයෙක් සමග යා හැක්කේ වලපල්ලට පමණි. ආණ්ඩුවක් පිහිටවා රට දේශපාලනිකව තහවුරු කරන්නට පමණක් නොව ආර්ථික වශයෙන් ස්ථාවර කරන්නටද මූලික අවශ්‍යතාවය මේ අසමත් ජනතා වෛරයට හේතුවූ ජනාධිපති ඉවත් කිරීමය. විපක්ෂ නායකයා මාතෘභූමියේ වගකීම කරට ගන්නට ඉදිරිපත් කරනා එකම කොන්දේසිය වන්නේද මේ අසමත් ජනාධිපති ඉවත් කිරීමය. එහෙයින් ඒ සාධාරණ ඉල්ලීම ඉටුකිරීමට බල කිරීම මෙරට බහුජන ව්‍යාපාරවල වගකීමය.

පසුගිය මාර්තු 31 දින මිරිහානේදී ජනතාව ජනාධිපතිගේ නිවස වටකර ඉල්ලා සිටියේ අනෙකක් නොව ජනාධිපති ගෙදර යන ලෙසයි. අද වනවිට ලංකාවේ පාරක් පාරක් ගානේ දැක ගත හැකි අරගල වල ප්‍රධාන සටන් පාඨය “ගෝටාගෝ හෝම්” යන්නය. අසූවිය සපිරුන මහල්ලාගේ සිට බහ තෝරන වියේ සිගිත්තා දක්වා මුමුණන්නේ “ගෝටාගෝ හෝම්” යන්නය. මේ වන විට ලංකාවේ වැඩබිම් සියල්ල සටන් බිමට පත්ව ඇත්තේය. ඒ සෑම සටන් බිමකම ප්‍රධාන සටන් පාඨය “ගෝටාගෝ හෝම්” යන්නය. අදවන විට ලංකාවේ වැඩ වර්ජන කරන්නෙත්, පිකටින් කරන්නේත් එකී සටන් පාඨයම මුල් කරගෙනය. ගාලු මුවදොර තරුණයෝ මාසයක් පුරා දිවා රෑ කෑගසා කියන්නේත් “ගෝටාගෝ හෝම්” කියාය. ජනාධිපති ඉවත්වීම හැර අන් කිසි විසඳුමක් ඔවුන් පිළිගන්නේ නැත. එහෙයින් තරුණ අරගලය නිමාකර රට සාමකාමී තැනකට ගෙනගොස් ආර්ථිකය පණගන්වන්නට ඇති බාධාවද ජනාධිපති වරයා තව දුරටත් එකී ධූරය හෙබවීමය.

ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ජාතික ජන බලවේගය රට බාරගන්නට ඉදිරිපත් කරනා කොන්දේසිය වන්නේද ජනාධිපති ඉවත්විය යුතුය යන්නය. හවුල් ආණ්ඩුවකට සහය දෙන්නට එකඟවී සිටින ද්‍රවිඩ ජාතික සන්ධානය ප්‍රමුඛ පාර්ලිමේන්තුව නියෝජනය කරනා පක්ෂ සියල්ලම පනවන මූලික කොන්දේසිය ජනාධිපති මුලින්ම ඉවත්විය යුතු බවය. පාර්ලිමේන්තුව නියෝජනය නොකර පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි දේශපාලන පක්ෂ පවා කියන්නේ ජනාධිපති මුලින් ඉල්ලා අස්විය යුතු බවයි. විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට ඩොලර් එවීම නතර කර බොහෝ කල්ය. නැවත රටට ඩොලර් එවීමට ඔවුන් ඉල්ලන ඉල්ලීම වනුයේ දූෂිත ආණ්ඩුව ඉවත් විය යුතු බවයි. ඒ අනුව දූෂිත ආණ්ඩුවේ එක් පුරුකක් වන ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මුලසුනේ තබාගෙන හදනා ආණ්ඩුවක් ඔවුන්ද පිළිගන්නේ නැත.

ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සමඟ ඒකාබද්ධ වාණිජ මණ්ඩල සභා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේ අන්තර්වාර අග්‍රාමාත්‍යවරයකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන දක්‍ෂ පුද්ගලයෙකු පත් කොට අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර කුඩා අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙසයි. දැන් එකී යෝජනා ක්‍රියාත්මක කිරීමට ඇති බාධාවද ජනාධිපතිරයා ඉල්ලා අස් නොවීමය. ඔහු ඉල්ලා අස්වෙනතෙක් අන්තර්වාර ආණ්ඩු හදන්නට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත. එහෙයින් රටට ඉදිරි ගමනක් ගැන සිතන්නට බැරිය.

ගණකාධිකාරීවරුන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, ව්‍යාපාරිකයන්, මේ සියළු දෙනාද ඉල්ලා සිටින්නේ ජනාධිපති ඉල්ලා අස්විය යුතු බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටිනුයේ ලංකාවේ ස්තාවර රජයක් බිහිවෙන තෙක් තාක්ෂණ කරුනු පමණක් සකච්චා කරනා බවයි. ඉන් ගම්‍ය වන්නේ මූල්‍ය ආධාර පිළිබඳ සාකච්චා කිරීමට ලංකාවේ ස්තාවර ආණ්ඩුවක් බිහිවිය යුතු බවයි. දැන් බලනා කල රටේ ස්තාවර ආණ්ඩුවක් පිහිටවන්නට ඇති ලොකුම බාධාව ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ එම ධූරයෙ ඉඳීමය. මුළු රටම එක හඬින් ඔහුට ඉල්ලා අස්වෙන ලෙස බලකරන්නේ රට ගොඩ ගැනීමට ස්ථාවර ආණ්ඩුවක් පිහිටවීමට ඇති ලොකුම බාධාව ඔහු වන බැවිනි. ජනාධිපතිවරයා තවමත් එය තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවය.