“ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය ශාසනික කාර්යය ඉටු කිරීමේදී වැඩිපුරම අවධානය යොමු කළේ ගිහි ජනතාව දැනුවත් කරමින්, ශාසනික වැඩසටහන් වලට සම්බන්ධ කර ගැනීමයි. ඒක රාමඤ්ඤ නිකායේ ඉතිහාසයේ දැක්ක, දකින දේ ධර්මඥානයෙන් ශාසනික ක්‍රියාවලියෙන් ගිහි ජනතාව ඉදිරියට යවන්න , ඒ එක්කම ජනතාව ධර්මයෙන් සන්නද්ධ කරන්න, රාමඤ්ඤ නිකාය මුල ඉඳලා උත්සාහ ගත්තා. ඒ කුමක් හෙයින් ද ? ශාසනික පැවැත්ම සඳහා ගිහි පැවිදි සම්බන්ධය අත්‍යන්තයෙන්ම අවශ්‍ය නිසා. ගහට පොත්තත්, පොත්තට ගසත් සේ ගිහි පැවිදි මේ දෙපාර්ශ්වය අතර සම්බන්ධය තමයි ශාසනා ප්‍රවෘත්තියේ පදනම. ශාසනයේ පැවැත්මේ පදනම. මේ අනුව ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකාය ඒ ඒ අවස්ථාවල ගෞරවනාම පිරිනමනවා. පැවිදි පාර්ශ්වයේ ඇත්තන්ට පමණක් නෙමෙයි. ගිහි පින්වතුන්ටත්. සමස්ත ලංකාව පුරා පැතිරුණු අටදහස් තුන්සියයකට අධික භික්ෂූන් වහන්සේලා පිරිසක් , ඒ වගේම 1300 කට අධික විහාරස්ථාන සංඛ්‍යාවක් රාමඤ්ඤ නිකායට අයත්. කිසිදු භේදභින්න තාවයකින් තොරව එකම මහානායක මාහිමිපාණන් වහන්සේ නමක් යටතේ නිකායේ පරිපාලන කටයුතු සිදු වෙනවා.ඒ පරිපාලනයේ උත්තරීතර සභාවට කියන්නේ විශේෂ අධිකාරි මණ්ඩලය. සෑම මාසයකම රැස්වෙනවා. ඊළඟට තිබෙන්නේ කාරක මහා සංඝ සභාව. දිවයිනේ සියලුම ප්‍රදේශවල නියෝජිතයන්ගෙන් සැදුම් ලත් කාරක මහා සංඝ සභාව මාස තුනකට වතාවක් රැස්වෙනවා. ඊළඟ මහ සභාව, පාලක සභාව මාස හයකට වතාවක් රැස්වෙනවා. ඒ ඒ අවස්ථාවල ඉදිරිපත් වන ගෞරවනාම සම්මුතීන් තීරණය කරන්නේ සමන්නේසනා සභා කියන කමිටුව මගින්. විවිධ විදියේ ගිහි පැවිදි ඉල්ලුම්පත් ඉදිරිපත් වෙනවා. නමුත් එයින් ඉතාමත් සුළු සංඛ්‍යාවකට ඉඩ ලැබෙන්නේ. ඒ අනුව සමන්නේසනා සභාවෙන් ඉතාමත් සුළු සංඛ්‍යාවක් අවුරුද්දකට සම්මත වෙනවා. මෙවන් අවස්ථාවේ තමයි දකුණු පළාතෙන් ඉල්ලා හිටින්නේ අපේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිදුන්ට මෙවන් ශාසනික සම්මානයක් ලබා දීම සුදුසුයි කියලා. ඒ කාරණය සම්බන්ධයෙන් සාකච්ඡා වුණා විෂය අධිකාරි මණ්ඩලය , මහා නායක මහා හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව මේ සම්මතය අපේ ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ දැනුම් දුන්නා වගේ අවුරුදු තුනකටත් කලින් තමයි මේ සම්මතය ලබාගත්තේ. ඒ අනුව අද මේ උතුම් කාර්‍යයට අපි දායක වෙනවා. සහභාගී වෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිදුන් කියන්නේ මේ යුගයේ සුවිශේෂී චරිතයක්. සසුනට අරුණ නැමැති එතුමාගේම සංකල්පයක් මුල්කරගෙන ශාසනික කටයුතු මැනවින් සිදු කරගෙන යනවා. එතුමාට බලය තිබුණත් , නැතත් ඒ කාර්යය කරගෙන යන බව ඉතාමත් පැහැදිලියි. සජිත් ප්‍රේමදාස මැතිදුන් අපට නිතර සිහි ගන්වන්නේ ප්‍රායෝගිකත්වයට මුල් තැන දුන්, පොතට මුල් තැන නොදුන් සමාජ යථාර්ථය තේරුම් අරගෙන ක්‍රියාකරන ජනප්‍රිය නායකයෙකු වූ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. එතුමන්ගේ ක්‍රියාකාරීත්වයේ පැවතුණු ජනසම්මතවාදය, ප්‍රායෝගිකත්වය අපි හැමදාටම අගය කරනවා. අතිශයින්ම දුෂ්කර අවස්ථාවක රට කරගෙන යාමේ භාරදූර වගකීම එතුමා ඉටු කළ හැටි අපට පැහැදිලියි. සජිත් ප්‍රේමදාස මැතිදුන් ගේ ක්‍රියාකාරීත්වය අපට පැහැදිලි වන එතුමාගේ සෘජුප්‍රතිපන්න භාවය පැහැදිලි වුණු එක සිද්ධියක් පමණක් මතක් කිරීම අවස්ථානුකූලව ප්‍රමාණවත්. අපේ අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි මහනායක මාහිමිපාණන් වහන්සේ දහතුන්වැනි මහනායක හාමුදුරුවෝ අපවත් වුණේ 2020 නොවැම්බර් මස 17 වැනිදා. ඊට පස්සේ පාර්ලිමේන්තුව වැසුනා නොවැම්බර් විසි විසි එක් වෙනිදා. පාර්ලිමේන්තුවේ ප්‍රථම අවස්ථාවේදී , ආරම්භක අවස්ථාවේදී නැගී සිටිය සජිත් ප්‍රේමදාස මැතිතුමන් යෝජනාවක් ඉදිරිපත් කළා කතානායකතුමාට, අපවත් වී වදාළ මහානායක මහා හිමිපාණන් වෙනුවෙන් විනාඩියක් නිහඬ වෙන්න. නිහඬව සිටිමු කියලා. යෝජනාව එකවරම කතානායකවරයා අතින් ප්‍රතික්ෂේප වුණා. නමුත් විපක්ෂ නායකතුමා තවදුරටත් තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කළා. මේකට පූර්වාදර්ශ තියෙනවා. මේක කරන්න පුළුවන්. පූර්වාදර්ශ තියෙනවා. අස්ගිරි මහා නායක මා හිමියන් වහන්සේ වෙනුවෙන් එවන් පූර්වාදර්ශයක් තියෙනවා. ඒ නිසා විනාඩියක් නිහඬව සිටීම උචිතයි. සාකච්ඡාවට මං හිතන්නේ විනාඩියේ ඒවා 15 ගියා වෙන්න ඇති. නමුත් අදහසත් යට ගියා . ඒ අදහස ක්‍රියාත්මක වුණේ නැහැ. අපිට ප්‍රශ්ණයක් තියෙනවා. ඒ කතා කළේ කවුරු වෙනුවෙන්ද ? මේ රටේ ගිහි පැවිදි ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ අත්‍යන්තර ගෞරවාදරයට පත්වුණු මහනායක මාහිමිපාණන් වහන්සේ අවුරුදු 95 ක ශීලවෘද්ධ, ගුණෝවෘද්ධ, වයෝවෘද්ධ මහනායක මාහිමියන් වෙනුවෙන් විනාඩියක් රටේ පාලන ප්‍රාන්තයේ මෙහෙයවන නීති නිෂ්පාදනය කරන, සම්පාදනය කරන ජන නායකයන්ගේ සමුළුවේ විනාඩියක නිහඬතාවක් අනුගමනය කිරීම සුදුසු නැද්ද?

අපට ප්‍රශ්නයක් තියෙනවා. සිංහලයෝ කෙසේ වෙතත්, බෞද්ධයෝ කෙසේ වෙතත්, මනුෂ්‍යකම දන්න කෙනෙක්වත් පාර්ලිමේන්තුවේ එදා අසුන් අරගෙන හිටියේ නැද්ද ? අදාල කාරණය යට ගියා උනාට අපි දැක්ක දේ තමයි සජිත් ප්‍රේමදාස මහත්තයාට ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ගෞරවය හිමි වුණා ඒ වචන ටිකත් එක්ක. උත්සාහයත් එක්ක . ඔබ හොඳ උත්සාහයක් ගත්තා , වැදගත් උත්සාහයක් ගත්තා, කෘතවේදී උත්සාහයක් ගත්තා, ධාර්මික උත්සාහයක් ගත්තා. ඒ උත්සාහයේ අර්ථය නොදත් පිරිසකගේ සහයෝගය නොලැබීම ඇත්තෙන්ම රටට දැනුනු ලොකු අඩුවක් . සජිත් ප්‍රේමදාස මැතිදුන් තුළින් බලාපොරොත්තු වෙනවා නිදර්ශනයක්. ධර්මානුකූල නායකත්වයක්. අර ජනරංජන කියන අභිධානයට, ශාසන කීර්ති දේශාභිමානි ශ්‍රී ලංකා ජනරංජන කියන ගෞරව නාමයට සරිලන, මහා සංඝයා වහන්සේ ඔබ කෙරෙහි තැබූ විශ්වාසය, ඔබතුමන් කෙරෙහි තැබූ විශ්වාසය එයයි. ජනරංජනය කරන්නේ කෙසේද? ජනතාව සතුටට පත් කිරීම.

අන්න අපේ අග්ගඤ්ඤ සූත්‍රයේ , දීඝ නිකායේ තියෙනවා ධම්මේන ජනං රන්ජතීතී රාජා , රාජා කියන්නේ නායකයා. ධර්මයෙන් ජනතාව සතුටට පත්කරන, ධර්මානුකූලව ජනතාව තෘප්තියට පත් කරන , රට ගොඩනගන, ධර්මයෙන් ම මතු කොට ගෙන කටයුතු කරන නායකත්වයක් ජනරංජන කියන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ වාගේ ජනරංජන නායකත්වය ඔබෙන් රටට ලැබිය යුතුයි. එසේ ලැබේවා කියන ප්‍රාර්ථනාවයි මහා සංඝයා වහන්සේ තුළ තියෙන්නෙ. ඕනෑම නායකයෙක්, නායකත්වයට අදාල ගති ලක්ෂණ වලින් පරිපූර්ණ කරලීම මහා සංඝයා වහන්සේගේ වගකීම සහ අයිතිය. ඓතිහාසික අයිතියක්. එහිලා දේශපාලන පක්ෂයක් හෝ පුද්ගල වාදයක් භික්ෂූන් වහන්සේට ඇත්තේ නැහැ . අපට තියෙන්නේ භික්ෂූන් වහන්සේලාට තියෙන්නේ ධර්මානුකූලව උපදෙස් දෙන එක. අවවාද අනුශාසනා දෙන එක . ඒක නිසා මේ අවස්ථාව අපි අතිශයින්ම වැදගත් කොට සලකනවා සජිත් ප්‍රේමදාස මැතිදුන් මෙතෙක් කරගෙන ආ ශාසනික සාමාජික මෙහෙවරට උපහාරයක් වශයෙන්. ගෞරවයක් වශයෙන්. ඇගයීමක් වශයෙන් අද දවසේ මෙවන් සම්මුතියක් පිරිනැමීමට ලැබීමට පිළිබඳව අපි හැමදෙනාම සතුටුයි . අපේ නිකාය ආරක්ෂක සභාව සුළු කොට ඇති මෙහි ලා ඇප කැපවුණු සියලුම දෙනාගේ සතුට ආශිර්වාදය මේ වෙලාවේ ඉත සිතින් පිරිනමන්නට කැමති.

මහා සංඝයා වහන්සේ බලාපොරොත්තු වෙනවා සජිත් ප්‍රේමදාස චරිතය තුළින් නායකත්වයක්. නායකයා සහ දේශපාලකයා කියන්නේ දෙන්නෙක් . දේශපාලකයන් නිතරම හිතන්නේ ඊළඟ මැතිවරණය ගැන. නායකයා හිතන්නෙ ඊළඟ පරපුර ගැන . රටේ අනාගතය ගැන. අපට දේශපාලනඥයින්ගේ හිගයක් නැති බව ඉතාමත් පැහැදිලියි. නායකයින්ගේ හිඟ කම පිළිබඳ ප්‍රශ්නය අපට දැන් දහසක්මෙයින් පැහැදිලියි. අපට අවශ්‍ය අනාගතය ගැන හිතන නායකයෙක්. නායකයෝ හුදු දේශපාලනඥයෝ නෙවෙයි. මහා සංඝයා වහන්සේ මෙවන් සම්මාන උපාධි පිරිනැමීම මගින් පිරි බලාපොරොත්තු වන්නේ රටට අනාගත නායකයන් , ධර්මානුකූල නායකයන් ඒ දේශපාලන පක්ෂය හෝ පුද්ගලවාදය නැමැති සීමා වලින් බැහැරව රටට අවශ්‍ය සම්මා සම්බුද්ධ සාසනය බබළවන මේ රටේ ජනතාවගේ දුක්ඛ අන්ධකාරයන් නිවන රට සංවර්ධනය කළ හැකි නායකත්වයන් තමයි මෙමගින් බලාපොරොත්තු වෙන්නේ . ඒ සඳහා සජිත් ප්‍රේමදාස මැතිදුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා . සුභ අනාගතයක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණයි. ස්තුතියි .