ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ පසුගිය දෙසැම්බර් මස උද්ධමනය සියයට 14 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ඉකුත් නොවැම්බර් මස පැවැති උද්ධමනය සියයට 11.1 ක් විය. මේ උද්ධමනය වැඩිවීම සදහා පසුගිය දෙසැම්බර් මාසයේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම භාණ්ඩවල මිල ගණන් වැඩිවීම හේතුවී තිබේ. මේ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේදී පැවැති සියයට 16.9 සිට ඉකුත් දෙසැම්බර් මාසයේදී සියයට 21.5 දක්වා සහ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2021 නොවැම්බර් මාසයේදී පැවැති සියයට 6.2 සිට ඉකුත් දෙසැම්බර් මාසයේදී සියයට 7.6 දක්වා ද ඉහළ ගොස් ඇත.

විශේෂයෙන් පසුගිය දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ ඇති එළවළු වර්ග, සහල් සහ අමුමිරිස් මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගිය බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අනුව දෙසැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ මිල ගණන් සියයට 3 කින් ඉහළ ගොස් ඇති අතර ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් සියයට 0.68 කින්ද ඉහළ ගොස් ඇත.මේ භාණ්ඩ මිල ගණන් ඉහළ යාම හේතුවෙන් 2021 නොවැම්බර් මස පැවැති ජාතික පාරිභෝගික මිල දර්ශකය ඒකක 155.3 සිට දෙසැම්බර් මාසයේදී ඒකක 161 දක්වා සියයට 3.7 කින් වැඩිවී තිබේ.

උපුටා ගැනිම – ශ්‍යාම් නුවන් ගනේවත්ත / දිවයින පුවත්පත.