ඩොලර් නොමැතිවීම නිසා ඖෂධ ආනයනය කිරීමට නොහැකිවී ඇති බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනතුරු අඟවා සිටී.

ඒ අනුව ඉදිරි මාස තුන හතර ඇතුළත රජයේ රෝහල්වල ඖෂධ සහ ශෛල්‍යාගාරවල භාවිතා කරන ද්‍රව්‍ය හිඟවිය හැකි බවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව අනතුරු අගවා ඇත.

ඖෂධ නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ වෛද්‍ය යූ.ඩී.එස්. සමරසිංහ විසින් ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම අනතුරු ඇඟවීම කර තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ගිණුම්වල ඩොලර් නොමැතිවීම නිසා ඖෂධ ගෙන්වීමට විවෘත කළ ණයවර ලිපි හැත්තෑ දෙකකට ගෙවීම් කිරීමට නොහැකිවී ඇති බවද පසුගිය සැප්තැම්බර් මාසයේදී ගෙවීම් කළ යුතුව තිබූ ඖෂධ සදහාද ගෙවීම් කිරීමට නොහැකිවී ඇති බවද එම ලිපියේ දැක්වේ.

මහජන බැංකුව විසින් නිකුත් කරනු ලබන ණයවර ලිපි සදහා රුපියල් මිලියන 1197 ක් හා ලංකා බැංකුව විසින් නිකුත් කරන ණයවර ලිපි සදහා රුපියල් මිලියන 1020 ක් ලෙස රුපියල් මිලියන 2217ක ණයවර ලිපි සදහා ඩොලර් නිකුත් කිරීමට නොහැකිවී තිබේ.

දැනට ඖෂධ නීතිගත සංස්ථාවේ පවතින තොග අවසන්වීමේ දැඩි අවධානමක් මතුව තිබෙන බවද එම සංස්ථාව වැඩිදුරටත් අනතුරු අඟවා සිටී.