ගෑස් අර්බුදයට තවමත් විසඳුමක් දී නැති අතර කොමිෂන් සභා පත් කළද එමඟින්ද පලක් වී නැති අතර අඩුම තරමේ අධිකරණ නියෝගය හෝ ක්‍රියාත්මක වී නැති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (02) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවා.

ආණ්ඩුවේ අසාර්ථක බව ගෑස් ප්‍රශ්නයෙන්ම පෙනෙන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

මේ අතර 2022 වසර ආරම්භයේදීත් ජනතාවට පෝලිම් වල සිටීමට සිදු වූ අතර ගෑස්,කිරිපිටි,සිමෙන්ති පෝලිම්වල නිමක් නැති බවයි ඔහු කියාසිටියේ.

”2022 වසර ආරම්භයේ දීම භාණ්ඩ පෝලිම් වල ඉන්න තත්ත්වයට පත් කරලා.2022දී වත් සහන දායි තත්වයක් ඇති වේවි යැයි ජනතාව බලාපොරොත්තු වුණා.

කිරි පිටි / ගෑස් / සිමෙන්ති පෝලිම් එහෙමමයි.

1977 ට පෙර රටේ තිබුනු තත්ත්වය මතක් වෙනවා.මෙහෙම මේ රටට ඉදිරියට යන්න බැහැ.

ලෝකය ආර්ථික දියුණුවක් ලබන විට අපි ආපස්සට යනවා.

මේ වන විට සිමෙන්ති මිලත් වැඩි කරලා. පළමුදා සිට සිමෙන්ති මිල වැඩි කලා. ආණ්ඩුවෙන් ජනතාවට කිසිම සහනයක් නැහැ.
මේ නිසා අංශ රැසක් ගැටලු රැසකසට මුහුණ දීලා. වියත්මගේ පාලනය හරහා බලාපොරොත්තු වුනේ මේක නෙවෙයි.

රට අදුරු යුගයකට ඇදගෙන යමින් තිබෙනවා.

2022 දී වත් උද්දච්චකම පැත්තකින් තියලා ජාතික වැඩපිලිවෙලකට යා යුතුයි.

ගෑස් අර්බුදයට තාම පිළිතුරක් නෑ .කොමිෂන් සභා පත් කලා.ඒත් වැඩක් නෑ. අඩුම තරමේ අධිකරණ නියෝගයවත් ක්‍රියාත්මක වෙලා නැහැ.

මේ ගෑස් වල ප්‍රමිතිය අඩුකර තිබෙන බව ඉතාම පැහැදිලියි.මිනිස්සු මැරෙනවා.ගෑස් නිසා විශාල හානියක් සිදු වෙලා.
ආණ්ඩුවේ අසාර්ථකභාවය මේ හරහා පේනවා.

මේ තත්වය පාලනය කරගන්න බැරි නම් රටකට ආණ්ඩුවක් අවශ්‍ය නැහැ.
තාම ගෑස් පෝලිම් තිබෙනවා.මිනිස්සුන්ගේ ජන ජීවිතය කඩා වැටිලා.

මේ පෝලිම් යුගය නැති කළ යුතුයි.

ඩොලර් සංචිත වැඩි වෙලා යැයි මහ බැංකු අධිපති පුරසාරම් දෙඩුවා.මේක ජනතාව නොමග යැවීමක්.මේ කියලා තිබෙන්නේ බොරුවක්. එහෙම ඩොලර් සංචිත වැඩිවුනා නම් ඒ මුදල් කෝ.?

අනාගතයේ දැඩි අවධානමක මේ රට තිබෙන්නේ.මේක ජාතික අර්බුදයක්.

කැබිනට් මණ්ඩලය සංශෝධනය කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා යැයි ආරංචියි.
මේක සංශෝධනය කලා කියලා ප්‍රශ්න විසදෙන්නේ නෑ.

ලබන සතියේ කැබිනට් සංශෝධනයක් කරන්න හදනවා.ජනතාව ඉල්ලන්නේ සංශෝධන නෙවෙයි මුලු ආණ්ඩුවටම ගෙදර යන්න කියලයි.

2022 දී ජනතාව තවදුරටත් ඉවසන්නේ නෑ.

කිරි පිටි පෝලිම් හැම තැනම. මේ සදහා දේශීය නිෂ්පාදන වැඩි කල යුතු බව ඇත්ත.නමුත් ඒක දිගු කාලීන වැඩපිලිවෙලක්.ඒක එක දවසකින් දෙකකින් කරන්න බැහැ.ඒ නිසා මේ ප්‍රශ්නය ට කෙටි කාලීන විසදුමක් අවශ්‍යයි.
වැඩි කල කිරි පිටි මිල ජනතාවට දරාගන්න බැහැ.

ආණ්ඩුවේ මැති ඇමතිවරු ගණනාවක් විදේශ සංචාර වලා. මේ වගේ අවස්ථාවක රටේ මැති ඇමතිවරු ආදර්ශයක් ලබා දිය යුතුයි.

බැසිල් රාජපක්ෂ ලබන සතියේ ඉන්දියාවේ යනවා.මේ යන්නේ ඉන්දියාවෙන් ණය ඉල්ලන්න.
මේ මුදල් දුන්නත් ලබා දෙන්නේ ඉන්දියාවෙන්ම බඩු මිලදී ගැනීමට පමණයි.මේ ඉන්දියාව කරන්නේ බිස්නස් එකක්.

උදය ගම්මන්පිල මහතා ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන ප්‍රකාශයක් කලා.ඒක මහා ජයග්‍රහණයක් විදියට ප්‍රකාශ කලේ.නමුත් මෙතෙක් අත්සන් කර තිබෙන්නේ අවබෝධතා ගිවිසුමක් පමණයි.

මේවායේ අයිතිය මෙතෙක් තිබුණේ ශ්‍රී ලංකාවට.මේ හදන්නේ සියලුම තෙල් ටැංකි ටික IOC එකට පවරන්නයි.මේක යටින් ගහන ගේමක්.

කෙරවලපිටිය බලාගාරය ගැන ප්‍රශ්නයත් එසේමයි.

ණය ලබා දෙන්න ඉන්දියාව පනවපු කොන්දේසියක් තමයි තෙල් ටැංකි ටික IOC එකට ලබා දෙන්න කියන එක. දැන් ඒ කොන්දේසිය ඉටු කරලා තමයි මේ බැසිල් ඉන්දියාවේ යන්න හදන්නේ.

2022 වර්ෂය අපි නොදැනුවත්වම අපේ සම්පත් විකිණෙන වර්ෂයක්.”