පාඨලී චම්පික රණවක මැතිතුමාගේ “සළු පට අහසට යවන” හඬපටයක්, අපේ ජන බල පක්ෂය මගින් මේ සතියේදී එලිදරව් කරන බවට, කුප්‍රකට ඩෑන් ප්‍රියසාද් නැමැත්තා විසින් කරන ලද ප්‍රකාශයක් දුටුවෙමු.
ඒ පිළිබඳව හිටපු ඇමතිතුමාගෙන් විමසීමු. එතුමා ප්‍රකාශ කළේ ඒ කුමක්දැයි නොදන්නා නමුත් පසුගිය දෙසැම්බර් 14 දා දහවල් 11-12 අතර එතුමාට දුරකතන පණිවිඩයක් නම් රාගම ප්‍රදේශයේ යැයි කියාගන්නා පුද්ගලයෙකුගෙන් ලැබුණු බවය. ඔහු පළමුව තමාව හඳුන්වා දී තිබුනේ දැනට රණවක මැතිතුමාට එරෙහිව පවතින නඩු විභාගය පිළිබඳ තමන් තොරතුරු දන්නා බව පවසමිනි. ඊළඟට ඔහු පවසා තිබුනේ සන්දීප් ගුණවර්ධනගේ පියා හා ඥාතීන් ලසන්ත අලගියවන්න ඇමැතිතුමා වෙත රැගෙන යෑම සිදු කළේ ද තමන් බවයි. එසේම දැනට නඩුවේ ශාක්ෂිකරුවන් ලෙස සිටින තරුණයන්ව උදය ගම්මන්පිල මහතා හමු වීමට රැගෙන ගියේද තමන් බවත් ඔහු ප්‍රකාශ කර තිබුණි. සිද්ධියට සම්බන්ධ වීඩියෝ පටයක් තමන් සතුව ඇති බවත්, ඒ අනුව තමන්ට රණවක මහතාව හමුවීමට අවශ්‍ය බවත් ප්‍රකාශ කර තිබුනේ ඊට පසුවය. එහිදී හිටපු ඇමතිවරයා ප්‍රකාශ කර තිබුනේ තාක්ෂණිකව කෘත්‍රිමව සකස් කරන ලද ව්‍යාජ වීඩියෝවක් විනා ඔය කියන ආකාරයේ සැබෑ එකක් නම් තිබීමට නොහැකි බවත්, එසේම එසේ හමුවීමට තමන්ට අවශ්‍ය නැති බවත්ය.

රට ආර්ථික වශයෙන් අපායක් බවටත්, දේශපාලන වශයෙන් විහිළුවක් බවටත් පත් කර ඇති මේ රජයේ මේ මොහොතේ ප්‍රමුඛතා මේවාය. එනම් ඩෑන් ප්‍රියසාද් වැනි නිර්ලජ්ජිත විකටයන් හරහා මඩ නාටක රඟ දැක්වීමය. මේ මහා ආර්ථික අර්බුදය මැදත් ජාවාරම් කරමින් රටේ ජාතික ධනය මංකොල්ලකමින් සිටින දූෂිතයන් කිහිප දෙනා, තමන් මංකොල්ල කන ධනයෙන් කොටසක් ආයෝජනය කරන්නේ මෙබඳු බාල හඬපට නාටකවලටය. මේ වර්ගයේ ව්‍යාජ රංගන රාජපක්ෂලාට සහ ඔවුන් වටා සිටින අනෙකුත් ජාවාරම්කරුවන්ට අලුත් දෙයක් නොවේ. එසේ රඟ දක්වන ලද ෂාෆිගේ පැලෝපීය නාටකය අවසන් වූයේ ඊයේය. නමුත් එසේ නිරාවරණය නොවී තවමත් මහජනයා ඇත්ත යැයි විශ්වාස කරන, මේ දූෂිත පාලක කල්ලියේ තවත් නාටක ගණනාවක් තිබේ. ඒවායින් අපහාසයට හා අගතියට පත් වූ චරිත විශාල සංඛ්‍යාවකි. විකෘති හඬ පටයක් යොදාගෙන රාජපක්ෂ කල්ලියේ ප්‍රධාන ජාවාරම්කරුවෙකු විසින් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට එල්ල කරන ලද අපහාසය ඊට එක් උදාහරණයකි.

තමන් විසින් රවටන ලද ජනතාව ඉදිරියේ දිනෙන් දින නිරුවත් වෙමින් තිබෙන මේ දූෂිත පාලක කල්ලිය, දැන් තම පණනල ගැට ගසා ගැනීමට උත්සාහ කරමින් සිටින්නේ, තමන්ට අභියෝග කිරීමට සිටින නායකයන්ට එරෙහිව මඩ සහ අවලාද ගැසීම මගිනි. නමුත් මේ පාදඩ පාලනයට සහ ඔවුන්ගේ බාල දේශපාලනයට වැඩි ආයුෂ නැති බව පමණක්, ඩෑන් ප්‍රියසාද් ගේ සිට ඔවුන්ව මෙහෙයවන ඉහලම පාදඩයා දක්වා වූ සියල්ලන්ටම අවධාරණය කිරීමට කැමැත්තෙමු. එසේම ඔවුන්ව මහජන විනිශ්චයට භාජනය කරවීමේ දේශපාලන ක්‍රියාවලියට සමාන්තරව මේ කුලීකරුවන්ව නීතිය ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවද සඳහන් කිරීමට කැමැත්තෙමු.

පාඨලී චම්පික රණවක