විශ්වය යනු වචනයෙන් විස්තර කළ නොහැකි අපූර්වත්වයෙන් ගහණ තැනකි. එය තුළ නිර්මාණය වන සියල්ල යම්කිසි මූලධර්මයකට හා න්‍යායකට අනුව නිර්මාණය වූ අවකාශීය වස්තූන් වන්නේය. මිනිසුන් වන අපට මෙම විශ්වීය අවකාශය තුළ තිළිණ කළ දෑ බොහෝය. නමුත් ස්වභාදහම් මෑණියන් තිළිණ කළ මෙම අවකාශීය ප්රපංචයන් අප නිසි පරිදි භාවිත කරන්නේද යන්න ගැටලුවකි.
මුළු ලෝකයටම බලපාන කුණු කසළ පිළිබද ප්රශ්නය සියලුම අවකාශීය වස්තූන් වසාගෙන සිටී . මිනිසා යන යන තැන තිබෙන්නේම කුණු කසළයි. ලෝකයේ උසම කන්දක් වන එවරස්ට් කන්ද තරණය කරන අපේ ඇත්තෝ තමන්ගේ නිෂ්පාදන හෝ තමන් රැගෙන ගිය ආගන්තුක යමක් හෝ ඉතිරි කර එති. සැබැවින්ම මිනිසුන් ජනිත කරනා කුණු කසළ කරදරයක් වී තිබෙන්නේ මහපොළොවට පමණක් නොවේ. මිනිසා අභ්‍යවකාශය ජයගත් දින පටන් මේ දක්වාම අභ්‍යවකාශයට විවිධ අපද්‍රව්‍යය එක් වීම නිසා අදවනවිට උඩු ගුවනද කුණු ගොඩක් බවට පත් අවසානය.
පසුගිය අප්‍රේල් මස 29 වැනි දින චීනය සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගුවන්ගත කළ රොකට්ටුව පසුව ඔවුන්ගේ පාලනයෙන් ගිලිහීයන ලදි. එහි කොටසක් පෘථිවිය මතට වැටීමට ඉඩ ඇති බවට කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පැවසුවේය. මෙයට පෙර චීනය විසින් යැවූ මෙවැනිම ආකාරයේ රොකට්ටුවක් කොස්ටරිකා රාජ්‍යයට කඩා වැටීම හේතුවෙන් නිවාස කිහිපයකට ද අලාභ හානි සිදු විය. මහාචාර්ය චන්දන ජයරත්න පවසන පරිදි මෑත කාලයේ අභ්‍යවකාශයේ සිට පෘථිවියට පතිත වන විශාලතම සුන්බුන් කැබැල්ල මෙය වෙයි. එය පතිත විය හැකි ස්ථානය අවිනිශ්චිතව වූ අතර පසුව එය මාලදිවයිනට උතුරින් ඉන්දියන් සාගරයට ඇදවැටුන බව වාර්තාවිය.
මේ වන විට ටොන් 7500කට අධික කුණු ගොඩක් අපේ හිසට ඉහ්ළින් අභ්‍යවකාශයෙහි රැඳී තිබේ . කිනම් හෝ දවසක මේවා පාලනයෙන් මිදී අපේ හිස මත කඩා වැටීමට ඕනෑතරම් ඉඩ ඇත . ඒ නිසාම මේ පිළිබදව දැනුවත්ව සිටීම පෘථිවි වාසීනට ඉතා වැදගත්වේ. 2011 වර්ෂයේ දෙසැම්බර් මාසයේ දී හදිසියේම රුසියාවේ මොස්කව් නගරයට සැතපුම් 3000ක් ඈතින් පිහිටි ඔට්රඩ්නෙන්ස්කි ගම්මානයට අඩි හයක් දිග කිලෝ 200ක් බර විශාල යකඩ ගොඩක් අහසින් කඩා වැටුණි. මෙම ගම්මානය රුසියානු සයිබීරියාවට අයත් වන ගම්මානයකි. කෙසේ නමුත් එය සයිබීරියාවට එල්ල වූ මිසයිලයක් යැයි මුලින් සිතුවද පසුව අධික ශක්තියකින් යුක්ත සැහැල්ලු ලෝහයක් වන ටයිටේනියම් වලින් තනා තිබීම නිසා එය අභ්‍යවකාශ අපද්‍රව්‍ය කොටසක් බව තහවුරු කර ගන්නා ලදි. මීට වසර කිහිපයකට පෙරදී ලංකාවේ දකුණු මුහුදු තීරයට ද මෙවැනි අභ්‍යවකාශ අපද්‍රව්‍ය තොගයක් ඇදවැටුනි.
මේ අපද්‍රව්‍යය සියල්ල දැන් හදුන්වන්නේ කක්ෂීය අපද්‍රව්‍යය ලෙසනි. විශේෂයෙන්ම පෘථිවි කක්ෂය වටා මේ වන විට රැදී තිබෙන්නේ අභ්‍යවකාශයට ගිය චන්ද්‍රිකා හා වෙනත් යානා මෙන්ම භාණ්ඩ රැගෙන ගිය රොකට් යන්ත්‍රයන්හි ඉවතලූ කොටස්, ක්‍රියාවිරහිත වූ චන්ද්‍රිකා සහ අභ්‍යවකාශයේ දී විනාශ වූ යානා කොටස් රැසකි. මෙම සියල්ලෙහි බර ටොන් 7500 කට ආසන්නය. එය තව තවත් වැඩිවෙමින් තිබේ. නාසා ආයතනය සදහන් කරන්නේ පහළ පෘථිවි කක්ෂයේ දැනට පවතින විශ්කම්භය අගල් දෙකක් හෝ ඊට වඩා කුඩා අපද්‍රව්‍ය කොටස් 15,000ක් පමණ නිල වශයෙන් නම් කර ලේඛනගත කර තිබෙන බවයි. නමුත් හදුනා නොගත් අපද්‍රව්‍යය ප්‍රමාණය මිලියනය ඉක්මවන බවද විද්‍යාඥයෝ සදහන් කරති.
මේ ආකාරයට බලන කල දැන් මුලු පෘථිවි කක්ෂයම කසළ ගොඩක් වී හමාරය. ඇමෙරිකානු නාසා විද්‍යාඥයන් තව දුරටත් ප්‍රකාශ කරන පරිදි අවම වශයෙන් පෘථිවි කක්ෂයේ සුන්බුන් කැබලි 500,000ක් පමණ ඇති බව නිගමනය කරන්නට පුළුවන. මේවා පැයට කිලෝමීටර 17,500ක පමණ වේගයෙන් පෘථිවිය වටා ගමන් කරමින් පවති. එවැනි කැබැල්ලක් පෘථිවියේ සිට මිනිසුන් රැගෙන යන යානයක හෝ වෙනත් ග්‍රහලෝක පිළිබදව සොයා යෑමට උඩු ගුවනට යවන ලද යානාවල ගැටීමෙන් එම යානා විනාශ වීමට ගත වන්නේ තත්පරයකටත් වඩා අඩු කාලයකි. එමෙන්ම මෙවැනි භ්‍රමණය වීම් නිසා උඩු ගුවනෙහි රදවා ඇති චන්ද්‍රිකා පවා විනාශ වීමට බොහෝ ඉඩකඩ පවති. එමෙන්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ද මෙම නිසා තර්ජන එල්ල වෙමින් පැවතීම අභ්‍යවකාශ ක්ෂේත්රයටම සිදුවන හානියක් ලෙස දැක්විය හැක.
නාසා ආයතනයේ ප්‍රධාන විද්‍යාඥ නිකලස් ජොන්සන් ප්‍රකාශ කරන පරිදි දැන් අභ්‍යවකාශ ගමන් සදහා ඇති විශාලතම බාධාව අභ්‍යවකාශයේ ඇති මෙකී අපද්‍රව්‍යයි. දැනට අභ්‍යවකාශයේ සැරිසරන පැරණිතම අපද්‍රව්‍යය තොගය ලෙස සලකන්නේ ඇමෙරිකාව 1958 දී යවන ලද “වැන්ගාර්ඩ් 1” නැමැති යානයේ කොටසකි. එමෙන්ම පැරණි සෝවියට් දේශය විසින් අභ්‍යවකාශයේ පවත්වාගෙන ගිය “මීර්” අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් බැහැර කළ අපද්‍රව්‍යද අති විශාල තොගයක් මෙම අභ්‍යවකාශයෙහි පවතී. ඒ අනුව අභ්‍යවකාශයේ පෘථිවිය වටා කක්ෂගත වී ඇති අපද්‍රව්‍යය කොටස් අතරින් මෙතෙක් හදුනාගෙන ඇති විශාලතම කොටස වන්නේ මෙම “මීර්” අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙහි ඇති කොටසයි. එය කිලෝ 120,000ක් පමණ බර ප්‍රමාණයකින් යුක්තය. නමුත් මෙය තවමත් මිනිසාගේ පාලනයට නතුව තිබෙන නිසා මෙයින් පෘථිවි වාසීනට එතරම් අවධානමක් නැතිබව පැවසේ. කෙසේවෙතත් මෙකී අභ්‍යාවකාශ කසළ උඩුගුවනේදීම විනාශ කිරීමට ලෝපුරා විද්‍යාඥයන්ගේ අවධානය මේවන විටත් යොමුව ඇත.
ලිපියේ අයිතිය වෙබ් අඩවිය සතුය.