පසුගිය ඔක්තෝබර් 4 වැනි දින සමාජ මාධ්‍ය ජාලා කලඹන පුවත් දෙකක් සංසරණය විය. ඉන් එකක් වන්නේ කුප්‍රකට පැන්ඩෝරා පත්‍රිකා හෙළිදරව්වෙන් රජ පවුලේ ප්‍රමුඛ සාමාජිකාවක් වන හිටපු නියෝජ්‍ය ඇමතිනි නිරූපමා රාජපක්ෂ සහ ඇගේ සැමියා වන තිරුකුමාර් නඩේසන්ගේ සැඟවුණු වත්කම් පිළිබඳව කරුණු රටට අනාවරණය වීමයි.

එදින උදෑසන මේ පුවත ලැව් ගින්නක් මෙන් සමාජ ජාල කැළඹුවද, සවස් වන විට වෙනස් ආකාරයේ ඡායාරූපයක් ඒ තුළ සංසරණය විය. නිකම්ම නොව අපහාසාත්මක වදන් ද සමගිනි. පින්තූරයේ සිටින්නේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ය. ඔහු වැස්සට නිරාවරණය වී තෙමෙමින් ජනතාව අමතන ඡායාරූපයක් එලෙස සමාජ මාධ්‍යයේ සැරිසරමින් තිබුණි. බොහෝ දෙනා එය සමච්චලයට ගනිමින් අදහස් පළ කළහ. සමහර පාක්ෂිකයන්ට පවා එය පෙනුණේ මෝඩ වැඩක් ලෙසිනි. හරකෙක් වුණත් වැස්සකට ගහක් යටට යනවා යැයි සඳහන් මඩ පෝස්ටුවක් ද ඒ අතර විය. ඒ සම “හරක්” හිතන හැටි ය. ඔවුන්ගේ පොඩි මොළයට තේරෙන විදියට වහින විට හරකුන් ගස් යටට යනවා වුවත්, වැහි වෙලාවක එළිමහනේ සිටින ඕනෑම කෙනෙකුට වැස්සේ නිදැල්ලේ සිටින හරකුන් දැකගත හැකි අතර ම, අවශ්‍ය කෙනෙකුට අන්තර්ජාලය පිරික්සා ද එවැනි පින්තූර දැක බලා දැකබලා ගැනීමට පුළුවන.

සමාජ මාධ්‍යයේ විහිලුවට ලක් කළ මේ සිදුවීම කුමක්ද? රටේ අනේකවිධ ගොවි ගැටලු ගැන සත පහක වගක් නැති ආණ්ඩුවක් හමුවේ බැට කන අහිංසක ගොවි ජනතාවගේ ගැටළු විමසන සමගි ජනබලවේගයේ “ගොවි හදගැස්ම” වැඩසටහන යටතේ විපක්ෂ නායකතුමන් තිස්සමහාරාම බෙරලිහෙල ප්‍රදේශයේ මුං වගා කරුවන් පිරිසක් මුණ ගැසීමට ගොස් තිබුණි. ගොවි ජනතාව අමතමින් සිටි සජිත් ඇතුළු පිරිස හිටි හැටියේම කඩාපාත් වූ වැස්සකට හසු වූහ. පැමිණි සිටි ගොවි මහතුන් දෙතුන් දෙනෙක් අත කුඩ තිබුණද, විපක්ෂ නායකතුමා නොනවත්වාම වැස්සේම තම ජනතා ආමන්ත්‍රණය සිදුකළේ , පැමිණ සිටි ජනතා නියෝජිතයන් හා ගොවි මහතුන් ද වැස්සට තෙමෙමින් සිටියදීය. බහුතරයක් දෙනා තෙතබත් වෙමින් සිටින විට තමාට පමණක් හිසට ආවරණයක් සපයා ගැනීමට ඔහුට අවශ්‍ය නොවීය. ඒ සජිත්ගේ හැටි ය.

සජිත් ප්‍රේමදාස යනු අව්ව වැස්ස හොඳට හුරු පුරුදු නායකයෙකි. ඔහු සීත කාමරවල හිඳ රට පාලනය කරන කොළඹ හතේ නායකයන්, රටේ ප්‍රශ්න ගැන අවධානයක් නැති අත්දැකීම් නැති නායකයන් මෙන් නොව, මහ පොළොවේ පය ගසා ඇවිදිමින්, ජනතාව සමඟ සිටිමින් ජන දුක වටහාගත් චරිතයකි. වැස්සට තෙමීම වුවද ඔහුට අමුතු අත්දැකීමක් නොවේ. පසුගිය යහපාලන රජයේ නිවාස හා ඉදිකිරීම් භාර ඇමතිවරයා ලෙස ගම්උදාව වැඩසටහන යටතේ වරක් හම්බන්තොට සිරිබෝපුර “සඳමුතුගම” ආදර්ශ ගම්මානය ජනතා අයිතියට පත් කරන අවස්ථාවේ, වැසි මැද වුවද ඔහු සිටියේ කුඩයක් යට නොවේ. 2019 ජනාධිපතිවරණය සමයේ එක්තරා මහජන රැස්වීමක් අමතන අතරතුර මහ වැසි ඇද හැලෙමින් තිබූ අවස්ථාවක වේදිකාව ආවරණය කළ වහලයේ සිදුරකින් වැටුණු වතුරෙන් සිය කමිසය දිගටම තෙතබත් වන අතරතුරේම ඔහු නොනවත්වාම රැස්වීම ඇමතී ය. ජනතා අනුකම්පාව දිනා ගන්නට පුහු මාධ්‍ය සංදර්ශන කරන ඇතැම් අය මෙන් රටට විහිළුවක් වීමට ඔහුට අවශ්‍ය නැත. ඒවා හුදෙක්ම ස්වාභාවික සිදුවීම් පමණි.

අනෙක් අතට ලෝක නායකයන් පවා අතීතයේ මෙන්ම මෑතක දී ද වැස්සට නිරාවරණය වෙමින් විවිධ උත්සව වලට සහභාගි වී ඇත. 1961 දී හිටපු ඇමරිකානු ජනාධිපති ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි සහ ප්‍රංශයේ හිටපු ජනාධිපති චාල්ස් ඩි ගෝල්, 2009 දී හිටපු අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා, 2013 දී චීන ජනාධිපති ෂී ජිං පිංග්, 2017 දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ රුසියානු අගමැති දිමිත්‍රි මෙන්ඩලීෆ් වැනි ලෝක නායකයන් විජයග්‍රහණ සැමරුම් ආදී විවිධ එළිමහන් සැමරුම් වලදී මේ ආකාරයෙන් හිසට ආවරණයක් නැතිව වැසි මැද ඊට සහභාගි වී ඇත. ඒ අවස්ථා වල ඡායාරූප දුටු ඒ ඒ රටවල ජනතාව එම නායකයන් විහිළුවට ලක් කළේ නැත. ලෝක දේශපාලනය දන්නා අයට මේවා මැජික් නොවේ. සජිත් ප්‍රේමදාස වැස්සට තෙමීම ආතල් එකක් කරගෙන ඇත්තේ ලංකාවේ සමහරක් ළිං මැඩියන් පමණකි. ඒ උදවියට ලෝක නායකයන් කරනකොට ඒවා සුපිරි ය. ලංකාවේ නායකයෙක් වැසි මැද ජනතාව ඇමැතීම හරක් වැඩකි. එසේ නැත්නම් ඒ දේශපාලනඥයා පිස්සෙකි.

සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර මඩ ප්‍රහාර එල්ල කරන්නේ හතරගාතෙන් වැටී සිටින ආණ්ඩුව පමණක්ම නොවේ. විපක්ෂයේ සමහරක් බංකොළොත් දේශපාලන පක්ෂ ද එය සිය න්‍යාය පත්‍රයේ මුල් පෙළේ ක්‍රියාවක් බවට පත්කරගෙන ඇත. අනෙක් අතට නිරූපමා ගේ පැන්ඩෝරා ජාත්‍යන්තර වික්‍රමය කරළියට ආ දිනයේම මේ අතිශය සාමාන්‍ය සිදුවීම මෝඩ චූන් එකක් ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය කැළඹීම ද සැක සහිතය. සමහරුන්ට උවමනා වන්නට ඇත්තේ පැන්ඩෝරා සිද්ධිය සජිත්ගේ වැස්සට තෙමීම හරහා දියකර හරින්නට විය හැකි ය. නමුත් කාගේ කාගේත් උවමනාවට සජිත්ගේ වැස්සට තෙමීම මඩින් මාකට් කරන්නට වෑයම් කළද ඊට වැඩි ආයුෂ නොලැබුණි. දැන් ඒ සිද්ධිය වසාගෙන යළිත් මතු වන්නේ ආණ්ඩුවේ නොහැකියාව ය.

ලංකාවේ ජනතාව අතීතයේ සිටම හුරු වී ඇත්තේ දේශපාලනඥයන් යටතේ වහලුන්ගේ භූමිකාව ඉටු කිරීමට ය. 2005 රාජපක්ෂ ආගමනයෙන් පසුව එය උත්සන්න වී නව වහල් පරපුරක් මෙරට බිහිවිය. ඒ වහලුන්ට අවශ්‍ය වන්නේ තම ස්වාමියා සුර සැප විඳින අතරේ තමන් සැමදා දුගී දුප්පත්කමෙන් පීඩා විඳින්නට ය. ඒ වහල් කම අභිබවා යන යමක් දුටු විට ඔවුන්ට එය විහිළුවකි. ගොන් කමකි. සජිත් වැස්සට තෙමුණ පින්තූරයෙන් ඔවුන් සමාජගත කරන්නට හැදුවේ ද ඒ වහල් කමේ විහිළුවයි. නමුත් සජිත් ප්‍රේමදාස යනු ජනතාව හා එකට සිටගන්නා නායකයෙකු මිස, ජනතාවට තෙමෙන්නට ඉඩ හැර තමා පමණක් කුඩේ යටින් යන නායකයෙකු නොවන බව රටේ බහුතරයක් ජනතාව අද හෙටම තේරුම් ගන්නවා නිසැක ය.

ධනංජය චතුරංග.