තව දින 28කින් පැවැත්වෙන ජනාධිපතිවරණයට රටම සුදානම් වෙමින් තිබෙන බවත් එම ජනාධිපති මැතිවරණයේ ප්‍රතිපලයෙන් 100%ක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කළ හැකි බවත් සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා අද (23) වරකාපොල විජයග්‍රාහී ජන රැළිය අමතමින් පැවසීය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වීමෙන් පසු ජනතාවගේ මහජන අයිතීන් දෙකක් උදුරාගෙන තිබෙන බව තිස්ස අත්තනායක මහතා පැවසීය. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබා දී තිබෙන ප්‍රධානතම මෙන්ම මූලිකම අයිතිවාසිකම දෙවතාවක් ජනතාවගෙන් උදුරාගෙන තිබෙන බවයි එතුමා කියා සිටියේ.

පළාත් සභා වලට සංශෝධනයක් ගෙන එන බව පවසමින් අදටත් පළාත්සභා මැතිවරණය ජනතාවට අහිමි කර තිබෙන බවත් මේ වන විට පළාත්සභා ක්‍රියාත්මක වුවත් ඒවා ජනාධිපතිගේ නියෝජිතයින් වන ආණ්ඩුකාරවරුන් යටතේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙන බවත් එය මුළුමනින්ම වැරදි ක්‍රියාමාර්ගයක් බවයි එතුමා සඳහන් කරන්නේ.

පළාත් පාලන මැතිවරණ නොතබා එම මැතිවරණ කල් දමා තිබෙන බවත් එයින් මහා ජනතාවගේ අයිතිවාසිකම් කඩකර තිබෙන බවත් ඒ පිළිබඳව ශ්‍රේෂ්ටාධිකරණයෙන් ඉතාමත් වැදගත් තීන්දුවක් දී තිබෙන බවත් තිස්ස අත්තනායක මහතා සඳහන් කර සිටියේය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලැජ්ජාවක් තිබෙනවානම් ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි. අත්තනායක මහතා අවධාරණය කරමින් කියා සිටියේ මේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් වලට එරෙහිව ශ්‍රේෂ්ටාධිකරණය විසින් මේ වන විට තීන්දු තුනක් ලබා දී තිබෙන බවයි.

පොලිස්පති පත්කරන ලෙස අධිකරණයෙන් ජනාධිපතිට නියෝගයක් නිකුත් කලත් ඔහු ජනාධිපති අපේක්ෂකයෙක් නිසා එම පත්කිරීම කළ නොහැකි බව පවසමින් අධිකරණ තීන්දුව ක්‍රියාත්මක නොකර සිටි අතර ඔහු මෑත දිනයකදී අධිකරණයෙන් මන්ත්‍රීධුර අහිමි කළ හරීන් ප්‍රනාන්දුට සහ මනුෂ නානායක්කාරට ඔවුන් සිටි අමාත්‍යධුරයන වළ උපදේශක තනතුරු ලබා දී තිබෙන බවත් එම ක්‍රියාවලිය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බවයි තිස්ස අත්තනායක මහතා සඳහන් කරන්නේ.

ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වී සිටියදී ඔහු මේ වන විට නත්තල් සියෙකු මෙන් ජනතාවට සහනාධාර බෙදන්න පටන්ගෙන තිබෙන බවත් රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කළ ගැසට් නිවේදන තුනක් නැවත කැඳවීමට සිදුවුවත් ඔහු නැවත වතාවක් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකරන බව ප්‍රකාශ කර තිබෙන බවත් මේ හරහා මැතිවරණය මූලික කරගනිමින් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට තිබෙන අවකාශය අහිමිකරමින් ජනතාවට අල්ලස් ලබාදෙන බවයි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තිස්ස අත්තනායක මහතා අවධාරණය කරමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ විසින් කුමන බලපෑම් සිදුකලද සජිත් ප්‍රේමදාස මහතාගේ දුරකථනය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවයි.