වසර 26 ක් විරුද්ධ පක්ෂයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මෙවරත් පරාජය භාරගැනීමට අනිවාර්යෙන් සිදුවෙන බවත් ඔහුගේ දේශපාලන ජිවිතයේ ඔහු පරාජිතයෙක් බවත් ජනතා මතයට විරුද්ධව යමින් බලයේ රැඳීසිටිමට නොහැකි බවත් නියත පරාජයක් ඉදිරියේ තවත් දේශපාලන උප්පරවැට්ටි නොදා ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් රටේ ජනාධිපති ලෙස සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන් පත්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (22) පැවැති විශේෂ මාධ්‍ය හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර මහතා , G L පිරිස් මහතා , එස් එම් මරික්කාර් මහතා සහ මුජිබර් රහුමාන් මහතා සහභාගි වූහ, එම අවස්ථාවේ අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මේ පිළිබඳව අවධාරණය කර සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා,

“ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය ලැබිලා තිබෙනවා. ඒ අනුව මේ සතිය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා. මැතිවරණය නියත වශයෙන්ම තිබෙන බව දැනගෙන ජනාධිපතිවරයා මහජන මුදල් අයථා ලෙස පරිහරනය කරනවා. ඒ වගේම ජනාධිපතිවරයා ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා පොලිස් බලය නීති විරෝධීව යොදාගෙන තිබෙනවා. පොලිසියේ සිවිල් ආරක්ෂක කමිටු මාර්ගයෙන් මැතිවරණ ව්‍යාපාරය සඳහා රැස්වීම් කැඳවීමට ජනාධිපතිවරයා කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම පොලිස් ආරක්ෂක කමිටු රැස්වෙලා ජනාධිපතිවරයා වෙනුවෙන් රැස්වීම් පවත්වන්න කියලා පොලිස්පතිවරයා චක්‍රලේඛ නිකුත් කරලා තිබෙනවා. මේ සියල්ලට වියදම් කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව. මේ වැඩකටයුතු පිළිබඳව සමගි ජනබලවේගය මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. නමුත් තවම එම කටයුතු නවතවන්න කටයුත් කරලා නෑ.

ඒ වගේම රජයේ මුදල් යොදාගෙන ජනතාවට බඩු මුලු ලබාදෙනවා , රජයේ මුදල්වලින් නොයෙක් ආධාර ලබාදෙනවා. මැතිවරණ අල්ලස් ලෙස මෙලෙස භාණ්ඩලබාදීම වැරදි කටයුත්තක්. අමාත්‍යාංශවල මුදල් බලය තිබෙන්නේ ඇමැතිවරයාට නෙවෙයි. මුදල් බලය තිබෙන්නේ අමාත්‍යාංශයේ ලේකම් වරයාට. මේ දේවල් ප්‍රකාශ කරන්නේ රටේ සම බිමක් සම අයිතියක් ඇති කළ යුතු නිසයි.

ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 ක් බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ 22 වන සංශෝධනයක් ගේනවා. මැතිවරණයක් පැවැත්වීමට ආසන්න මොහොතක ජනාධිපතිවරයා විවිධ උප්පරවැට්ටි යොදනවා. නමුත් අදවන විට ජනාධිපතිවරයා ගන්නා සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථ වෙලා තිබෙනවා.ජනාධිපතිවරයාට අද ඉල්ලා අස්වෙන්න තමයි සිද්ධ වෙලා තිබෙන්නේ.

අවුරුදු 26 ක් විරුද්ධ පක්ෂයේ හිටපු ජනාධිපතිට මෙවරත් පරාජය වෙන්න තමයි සිදුවන්නේ. ඔහු දේශපාලන ජිවිතයේ පරාජිතයෙක්. බලය හැමදාම රඳවාගන්න නොහැකියි. නියත පරාජයක් ඉදිරියේ තවත් දේශපාලන උප්පරවැට්ටි නොදා ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණය පවත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ අනුව සැප්තැම්බර් වනවිට රටේ ජනාධිපති ලෙස සජිත් ප්‍රේමදාස මහතා නියත වශයෙන් පත්වෙනවා”