අනුප්‍රාප්තික ජනාධිපති ලෙස මේ වන විට ජනාධිපතිධුරයේ කටයුතු කරන රනිල් වික්රමසින්හගේත් ඔහුගේ ගොලබාලයින්ගේත් එකම ජාතික මෙහෙවර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුරු සෙවීම වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (07) ගම්පහ නගරසභා පරිශ්‍රයේ පැවති සජිත් ජනපති කරන, ජන බලය ගොඩ නගන “ජන පවුර” ජන රැලියට එක්වූ දහස්සංඛ්‍යාත ජනතාව අමතමින්.

සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට රටේ ජනාධිපතිධුරය හොබවමින් සිටින්නේ කිසිඳු ජන වරමක් නොමැති අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු බවත් ඔහුට ජනතාවගේ ගැටළු පිළිබඳව, ජන ජීවිතය පිළිබඳව කිසිඳු සංවේදනයක් නොමැති බවත් ඔහුගේ එකම අභිප්‍රාය වී තිබෙන්නේ ඔහුව ජනාධිපති වශයෙන් පත්කරනු ලැබූ, මේ රට විනාශය කරා ගෙන ගියට දූෂිත රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කිරීම පමණක් බවයි.

වත්මන් ජනාධිපතිවරයාට සහ රාජපක්ෂ කල්ලියට නැවත වතාවක් ජනතා කැමැත්තෙන් බලයට ඒමට කිසිඳු අවස්ථාවක් නොමැති බවත් ඒ පිළිබඳව සියලු වාර්තා වලින් මේ වන විට සානාථ වී තිබෙන බවත්, එමනිසා කුප්‍රකට දූෂිත කල්ලියක් සමඟ මාලිගා කුමන්ත්‍රණ හරහා ව්‍යවස්ථාව උල්ලංගනය කරමින් බලයේ තවදුරටත් රැඳී සිටීමට ඔවුන් උත්සාහ කරමින් සිටින බවත් ව්‍යවස්ථා විරෝධීව කරන ඕනෑම උත්සාහයක් පරාජය කිරීමට ජනතාව සමඟ පෙරට එන බවත් මෙහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කරමින් කියා සිටියේය.