රටේ වත්මන් තත්ත්වය ගැන අවදානය යොමු කිරීම සඳහා වන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේවන විට ආරම්භ වී තිබේ.

විවාදය ආරම්භ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කිහිපයක්ම යොමු කරන ලදී.

ඒ අනුව හදිසි නීතිය පනවනු ලැබුවේ ඇයි?,ඇඳිරි නීතිය පැනවූයේ ඇයි?,සමාජ මාධ්‍ය අවහිර කළේ ඇයි? යන ප්‍රශ්නවලට විවාදය ආරම්භ කිරීමට පෙර පිළිතුරු දිය යුතු බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.

මේ අතර වර්තමානය වන විට රටේ මුදල් අමාත්‍යවරයෙක් මෙන්ම භාණ්ඩාගාර ලේකම්වරයෙක්ද නැති බව ප්‍රේමදාස මහතා විසින් මතු කරන ලදී.

ඊයේ දිනයේදී නව මුදල් අමාත්‍යවරයා විසින් වාර්තා කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඉල්ලා අස්වූ අතර මෙවැනි තත්ත්වයක් මත රටේ මූල්‍ය කළමනාකරණය සිදුකරන්නේ කෙසේද යන්න පැහැදිලි කළ යුතුව ඇති බවද විපක්ෂ නායකයා සඳහන් කරන ලදී.

තවද ඊයේ දින පාර්ලිමේන්තු පිවිසුම අසල පැවති උද්ඝෝෂණයට මුහුණු ආවරණය කරගෙන ආයුධ රැගත් හමුදා නිල ඇඳුමින් ලියාපදිංචි නොකළ යතුරු පැදිවලින් පැමිණි කණ්ඩායම කවුද යන්න පිළිබඳවද පැහැදිලි කරන ලෙසයි ඔහු ඉල්ලා සිටියේ.

රටේ පවතින ඩොලර් ප්‍රශ්නය ක්ෂණිකව විසඳා ගැනීමට හැකි අකාරයක් ගැනද මෙහිදී විපක්ෂ නායකයා පැහැදිලි කළේය.

එනම පැන්ඩෝරා පත්‍රිකා හරහා අනාවරණය කර තිබුණු ආකාරයට රටින් හොරාගත් මුදල් රටට නැවත ගෙන ඒමට කටයුතු කරන ලෙසයි ඔහු පැවසුවේ.