ඊයේ දින IMF වැඩසටහන හා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන් ගැන කරුණු කිහිපයක් හෙළිදරව් වූ බවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාදාමය තුළ රටට සෙතක් සැලසෙනවා නම් එයට සහයෝගය දෙන නමුත් පසුගියදා හෙළිදරව් වූ කරුණු කාරණා ගැන ගැටලු සහගත තත්ත්වයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

2028 වන තුරු ණය ගෙවීමේ විරාමයක් ඇති බවත් 2028 සිට ගෙවීම් සිදු කිරීමට සිදුවන බවත් එය හොඳ දෙයක් ලෙස පෙනුනත් 2023 මාර්තු මාසයේ IMF වාර්තාවේ ණය තිරසර කිරීමේ විග්‍රහයට අනුව අප නැවත ණය ගෙවිය යුත්තේ 2033 සිට බවත් IMF වාර්තාවේ එසේ තිබුණත් මේ සාකච්ඡාවේ දී 2033 ඉලක්කයට යාමට නොහැකි වී ඇති බවත් දැන් 2028 සිට ගෙවීමට ගිවිසුම් ගසා ගෙන ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අනෙකුත් සියලුම රටවලට සාපේක්ෂව වේගවත්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්නට ලැබුණේ අප රට බවට වාර්තා වන බවත් එය සම්පූර්ණ අසත්‍ය බවත් තවමත් අප රටේ ණය ප්‍රතිව්‍යූහගත කරන ක්‍රියාදාමය අවසන් නොමැති බවත් එය සම්පූර්ණ නොවී මෙවැනි අසත්‍ය ජනතාවට පැවසීම වැරදි බවත් අපටත් වඩා වේගයෙන් අංගසම්පූර්ණව ණය ප්‍රතිව්‍යුහගත කළ රටවල් රාශියක් ඇති බවත් ඝානා වැනි රටක් අංගසම්පූර්ණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනක් හරහා සම්පූර්ණ ණය ප්‍රමාණයෙන් 37%ක ණය කපා ගන්න හැකිව ඇති බවත් එවැනි තත්ත්වයක් මත අප රටේ පොළියේ කපා හැරීමක් නොමැති බවත් පොළිය සහ පොළිය මත පොළියත් ගෙවීමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එමෙන් ම අප රටක් ලෙස අංගසම්පූර්ණ ගිවිසුමකට පැමිණ නොමැති බවත් ජාත්‍යන්ත සෛරී බැදුම්කර හිමියන් සමඟ පවා එකඟතා නොමැති බවත් එම සාකච්ඡා ජූලි 3 වැනි දා වන තුරු පවතින බවත් අවසන් එකඟතාවට එන්න නොහැකි වුවහොත් ඔවුන් අප රටට විරුද්ධව නඩු දැමීමට පවා නියමිත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 27) කළුතර බුලත්සිංහල මදුරාවල රෙමුණ මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 265 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ කණ්ඩායමේ දූදරුවන්ට ඇඳුම් ලබා ගැනීම පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

ඝානා රට අප රටටත් වඩා ඉක්මනින් අංගසම්පූර්ණ ගිවිසුමකට ප්‍රවේශ වීමට හේතු වූයේ එහි මුදල් ඇමතිවරයා පුද්ගලිකවම ජාත්‍යන්තර සෛරී බැදුම්කර හිමියන් හමුව සාකච්ඡා කිරීම නිසා බවත් අප රටේ මුදල් ඇමතිවරයා එවැනි සාකච්ඡාවකට නොගිය බවත් එම නිසා රජය බොරු කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම සාකච්ඡා කිරිම තුළ ණය සහනය ලබා ගන්නා විට දළ දේශීය නිෂ්පාදිතය පදනම් කර ගත්තත් ඝානා හා සැම්බියා වැනි රටවල් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පදනම් කර ගෙන ඇත්තේ විදේශ ආදායම් හා ප්‍රේෂණ බවත් ඝානාවට හා සැම්බියාවට විදේශ ගත ආදායම් හා ප්‍රේෂණ මත සාකච්ඡා ක්‍රියාත්මක කළත් අප රටක් ලෙස වරදක් කර ඇති බවත් මෙහි දෝෂයක් ඇති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එමෙන් ම චීන සංවර්ධන බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතු බවත් මෙම බැංකුව සැම්බියාවට හා ඉක්වදෝරයට දී ඇත්තේ ද්වි පාර්ශ්වීය ණය වුවත් අප රටට ලබා දී ඇත්තේ වෙළෙඳ වානිජ ණයක් ලෙස බවත් මෙහි ද ගැටලු රාශියක් ඇති බවත් ද්වි පාර්ශ්වීය ණය කරුවන් කොට්ඨාසයක් වන පැරිස් ක්ලබ් එක නිවේදනය කර ඇත්තේ සමානාත්මතාව පදනම් කර ගෙන ජාත්‍යන්තර සෛරී බැදුම්කරුවන් සමඟ ගිවිසුමකට එන ලෙස නිවේදනය කර ඇති බවත් මේ සඳහා ගන්නා ක්‍රියාමාරග දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එක්සිම් බැංකුව අප රටට රාජ්‍ය ව්‍යවසායකයන්ට ණය දී ඇති බවත් ජල සම්පාදනයට, නෙළුම් කුළුන හදන්න ණය දී ඇති බවත් ඒ ගැන හෙළිදරව්වක් නොමැති බවත් මේ මොහොත වන විට ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ ඩොලර් මිලියන 179ක බැදුම්කරයක් කල් පිරෙන්න යන බවත් ඒ බැදුම්කර හිමියන් එය කප්පාදුවකට එකඟ නොවන බවත් නඩු මගට යන බවට පවසන බවත් මේ බැදුම්කරය කල් පිරෙන දිනය නිර්මාණය වන අවස්ථාවේ රජයේ ප්‍රතිපත්තිය දැන ගැනීමට අවශ්‍ය බවත් මෙවැනි ගැටලු ගණනාවක් ඇති බවත් මේ ගැන නිවැරදි තොරතුරු හෙළිදරව් වී නොමැති බවත් මේ තොරතුරු ගැන විද්‍යාත්මකව විශ්ලේෂණය කර රටට සිදුවන වාසිය හා හානිය ගැන ජනතාවට කරුණු ඉදිරිපත් කරන්න සූදානම් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රජය එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරය හෙළා දකිනවා

අප රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරු හා විදුහල්පතිවරු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කරන්න තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කරන්න යෙදුන බවත් එය ඔවුන්ගේ අයිතිය වුවත් එම උද්ඝෝෂණයට මිලේච්ඡ ආකාරයෙන් රජය ඉතාමත්ම මර්දනකාරී ආකාරයට කටයුතු කිරීම තරයේ හෙළා දකින බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කොටස් 7ක් ඇති බවත් සැම දේශපාලනඥයකුම අධ්‍යාපනය ගැන කතා කරන බවත් අධ්‍යාපනයේ මානව සම්පතේ සුදුසු පරිසරය නිර්මාණය කරමින් ඒ අයගේ ආත්ම තෘප්තිය වඩවමින් යන ගමනක් තුළ පමණක් අධ්‍යාපනයේ ප්‍රගතියක් ලැබිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට පාසල් 10096ක 41 ලක්ෂයක් දූපුතුන් උගතුන් බුද්ධිමතුන් බවට පත් කරන්න වැදගත් කාර්යභාරයක් ඉටු කරන මේ ගුරු විදුහල්පතිවරුන්ට මේ ආකාරයෙන් පහර දීම ගැන කණගාටුවන බවත් ගුරුවරු හැමදාම අපේක්ෂා කළේ දූදරුවන්ට හොඳ හෙට දවසක් ලබා දීමට බවත් මොවුන් විශේෂ වරදාන වරප්‍රසාද නොලබා සවස පවා පාසලේ පන්ති පවත්වා විභාග සමත් කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරන බවත් ඔවුන්ට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා නොදී කුරිරු හා මිලේච්ඡ ආකාරයෙන් පහර දීම හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 265ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2885ක් වැය කර තිබේ.