හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළ බව කියමින් පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ(12) නියෝග කර තිබෙනවා.

මෙම අසත්‍ය නඩුවට මුදල් වියදම් කළ කැබිනට් අමාත්‍යවරයා සහ මෙම නඩුව පවත්වාගෙන ගිය නීතිඥ මහත්වරුන් මේ වන විට රක්ෂිත බන්දනාගාරයේ සිටින බව රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර තිබූ මෙම අසත්‍ය නඩුව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ වසර 13 ක පමණ කාලයක් වී තිබේ.

මහනුවර ප්‍රදේශයේ කාන්තවකට විවාහ පොරාන්දුවක් දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් වංචා කළ බවට එම කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව මෙම නඩුව ගොනු කර තිබුණා.

රන්ජන් රාමනායක මහතා සහ එම නඩුව වෙනුවෙන් රන්ජන් රාමනායක මහතාගේ පාර්ශවයෙන් පෙනී සිටි නීතිඥ මහත්වරුන් කියා සිටියේ මෙම නඩුව හුදෙක්ම දේශපාලන පලිගැනීම උදෙසා දැමූ සම්පූර්ණ අසත්‍ය නඩුවක් බව ගරු අධිකරණයෙන් සනාථ කර ඇති බවයි.