විදුලි බල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත සම්මත වුවහොත් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට දැවැත්ත තර්ජනයක් සිදුවන බවත් ශ්‍රී ලංකාව තවදුරටත් අනාරක්ෂිත වන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ප්‍රධාන විධායක අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් පී පෙරේරා මහතා පැවැසුවේ , ලංකාවේ බලශක්ති ක්ශ්‍රේත්‍රය ප්‍රතිසංස්කරණ වලට ලක්විය යුතු බවත් සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් අලුත් විදුලි බල පනතක් ඉදිරිපත් කර ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ශ්‍රේත්‍රය ලෝකය පිළිගත් , කාර්යක්ෂමතාවයකින් යුක්ත, නවීන බලශක්ති පද්ධතියක් නිර්මාණය කිරිමට අවශ්‍ය නීති සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් නිර්මාණය කරන බවත්යි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය.

‘‘ජුනි මාසයේ 6 වැනිදා රටට විශාල බලපෑමක් ඇති කරන පනත් කෙටුම්පතක් විවාදයට ගැනීමය නියමිතයි. බලශක්තිය පිළිබඳව , විදුලිය පිළිබඳව රටේ පනතින නීතිය සම්පුර්ණයෙන් වෙනස් කරන විදුලි බල පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි. මේ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායකවරයාට ලැබී තිබෙනවා. අපි අපෙක්ෂා කරනවා කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි කියලා. කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජුනි මාසයේ 4 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඉන්පසුව ජුනි මාසයේ 6 වැනිදා විදුලි බල පනත් කෙටුම්පත විවාදයට ගන්නවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ අන්තර්ගත කාරණා කිසිවක් ගැන විපක්ෂය දැනුම්වත් නෑ. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ අන්තර්ගත කාරණා කිසිවක් ගැන විදුලිබල ක්ශ්‍රේත්‍රයේ කිසිදු වෘත්තිය සමිතියක් , වෘත්තිකයෙන් දැමුවත් නෑ. ඒ වගේම රටේ විද්වතුන් මේ පිළිබඳව දැනුම්වත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ අන්තර්ගත කාරණා වලට අනුව සිදුකළ යුතු සංශෝධන මොනවාද? එයින් මතුවෙලා තිබෙන කාරණ මොනවාද? කියලා කිසිදු කෙනෙක් දැනුම්වත් නෑ.

නමුත් ජුනි මාසයේ 6 වැනිදාට නව විදුලි බල පනත විවාදයට නියම කරලා තිබෙනවා. මේක බරපතල කාරණයක් වගේම අනවශ්‍ය හදිසියක්. පනත් කෙටුම්පතකට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවේ එම විශයට අදාල අධීක්ෂණ කාරක සභාවට යොමුකළ යුතුයි. අධික්ෂණ කාරක සභාව එය අනුමත කළ යුතුයි. පාර්ලිමේන්තුවේ බලශක්තිය පිළිබඳ අධීක්ෂණ කාරක සභාවට ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව පිළිබඳ සහ පනතේ ප්‍රතිපාදන ගැන සාකච්ඡා කරන්න තිබෙන්නේ එක දවසයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ අන්තර්ගත යොජිත වෙනස්කම් පිළිබඳව සලකා බැලිමට කිසිදු සාධාරණ අවස්ථාවක් පාර්ලිමේන්තුවට ලබාදීලා නෑ. ඒ සඳහා අදහස් ප්‍රකාශ කිරිමට විදුලිබල ක්ශ්‍රේත්‍රයේ සිටින කිසිවෙකුට හැකියාව ලැබෙන්නේ නෑ.

අධීක්ෂණ කාරක සභාව සලකා බැලුවත් නැතත් පාර්ලිමේන්තු බහුතරය උපයෝගි කරගෙන ජුනි 6 වැනිදා විවාදයට අරගෙන පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු භාවිතා කරලා රටට එරෙහි , රටේ වටිනා සම්පත් විකුණන , රටේ බලශක්තිය විදේශ රටවලට ලබාදෙන නීතිමය රැකවරණය ලබාදෙන පනතක් තමයි පාර්ලිමේන්තුවට සම්මත කර ගන්න සුදානම් වෙන්නේ.

නව විදුලි බල පනත් කෙටුම්පත මගින් සිදුකරන්නේ අද තිබෙන විදුලිබල පද්ධතිය සමාගම් 12 කට වෙන් කරනවා. 5 දෙනෙකුගෙන් යුත් අධ්‍යක්ෂ මණ්ඩල අධ්‍යක්ෂවරු 60 ක් දක්වා වැඩිවෙනවා. එයින් බලශක්ති ක්ශ්‍රේත්‍රයේ කිසිදු කාර්යක්ෂමතාවයක් ඇතිවෙන්නේ නෑ. විදුලිබලය බෙදා හැරිම සඳහා ඇතිකරන සමාගම් 4
පෞද්ගලික අංශවලට විකිණිමට හැකියාව ලැබෙන බවට වන ප්‍රතිපාදන පනතේ තිබෙනවා. මේ පනතේ ප්‍රතිපාදන හරහා විදුලිය සම්ප්‍රේශණය පෞද්ගලික අංශයවලට පැවැරිමට හැකියාව ලැබෙන බවට සඳහන් වෙනවා. මේ පනතින් විදුලිබල මණ්ඩලය විකුණන්නේ නෑ කියලා කවුරුන් හෝ කියනවානම් ඒ ප්‍රකාශට සම්පුර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක්. නව විදුලිබල පනත් කෙටුම්පත නිර්මාණය කරන්නේම විදුලිබල මණ්ඩලය කැලි වලට කඩලා විකුණන්න. විදුලිබල මණ්ඩලය කැලි වලට කඩලා විකුණුවාම විදුලිබිල අඩුවෙන්නේ නෑ. විදුලිබල මණ්ඩලය කැලි වලට කඩලා විකුණුවාම විදුලිබල මණ්ඩලය කාර්යක්ශම වෙන්නේ නෑ. විදුලිබල මණ්ඩලය කැලි වලට කඩලා විකුණුවාම රටේ බලශක්තිය ආරක්ෂා වෙන්නේ නෑ.

ජනවරමක් නැති ආණ්ඩුව සහ ජනාධිපති සිදුකරන්න යන්නේ අදානි සමාගම ඇතුළු සමාගම් වලට ලංකාවේ බලශක්ති ක්ශ්‍රේත්‍රය අඩුමිලට පවා දීමක්. ජනාධිපතිවරයා සහ විදුලිබල ඇමැතිවරයා ඉදිරිපත් කර තිබෙන නව විදුලිබල පනතේ ඇතුළත් වෙන්නේ ලංකාවේ බලශක්තිය විකුණන්න අවශ්‍ය ප්‍රතිපාදන ඇතුලත් කිරිමයි.

ලංකාවේ බලශක්ති ක්ශ්‍රේත්‍රය බරපතල ප්‍රතිසංස්කරණයකට ඇතුලත් කළ යුතුයි. අලුත් විදුලි බල පනතක් ඉදිරිපත් කරලා බලශක්ති ක්ශ්‍රේත්‍රයේ ලෝකය පිළිගත් , කාර්යක්ෂමතාව වැඩි කිරිමට ඉවහල් වන සුළං බලය , සූර්ය බලය අපේ පද්ධතියට වැඩි වැඩියෙන් පද්ධතියට ඇතුලත් කර ගැනිමට ඉවහල්වන නවීන බලශක්ති පද්ධතියක් නිර්මාණය කිරිමට අවශ්‍ය නීති සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් නිර්මාණය කරනවා. නමුත් වර්තමාන රජය ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත වගකිව යුතු කිසිදු පාර්ශ්වයක් සමඟ සාකච්ඡා නොකර තමයි මේ පනත ඉදිරිපත් කිරිමට සුදානම් වෙන්නේ. විදුලිබල මණ්ඩලයේ සිටින 23,000 කට අධික සේවක පිරිසට ඔවුන්ගේ රැකියා පිළිබඳ සුරක්ෂිතතාවය නැතිවෙනවා. සේවකයන්ගේ රැකියා අහිමි වෙනවා.

විදුලි බලමණ්ඩලය නියෝජනය කරන වෘත්තිය සමිති වලින් බොහොමයක් ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති. ජනතා විමුක්ති පෙරමුණේ නායකයාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව ලංකාවේ බලශක්ති ක්ශ්‍රේත්‍රයට අදානි සමාගම කරන්නාවු බලපෑම පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ කතා කරන්නේ නෑ. විදුලිබල මණ්ඩලය කැලි 12 කට කඩලා විකුණන්න පනත් සම්මත කරන අවස්ථාවක කිසිදු වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගන්න ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරේ නෑ. ජනතා විමුක්ති පෙරමුණ අදානිගේ බලයට යටත්වෙලා. නව විදුලිබල පනත් කෙටුම්පතට විරුද්ධ බව සහ මෙම පනත වෙනස් කිරිමට කටයුතු කරන බව කියා තිබෙන්නේ සමගි ජනබලවේගය පමණයි. නොරොච්චෝලේ බලාගාරය , මන්නාරම සුළං බලාගාරය , තාප බලාගාර විදේශිය සමාගම් මිලදී ගත්තොත් ඒ සියලු ගිවිසුම් අහෝසි කරන්න සමගි ජනබලවේග ආණ්ඩුවක් තුළින් කටයුතු කරනවා.

රටේ බලශක්ති ක්ශ්‍රේත්‍රයට අයත් සම්පත් විකුණන්න ගේන පනත සම්මත කරගන්න පාර්ලිමේන්තුවේදී ඡන්දය ලබාදෙන පිරිස තමයි දේශද්‍රෝහීන්. මහින්ද රාජපක්ෂ දේශීය සම්පත් විකිණිමට එරෙහිව ප්‍රකාශයක් නිකුත් කළා. ඒ ප්‍රකාශය වචන විතරයි. ක්‍රියාවෙන් පෙන්වන්න නම් පාර්ලිමේන්තුවේදී මේ පනතට එරෙහිව ඡන්දය ලබාදිය යුතුයි.

ඒ වගේම ලංකාවේ සුළං විදුලි බලාගාරය පිළිබඳව නිසි කාර්යය පටිපාටියක් අනුගමනය කළ යුතුයි. තරගකාරි කාර්යය පටිපාටියක් අනුගමනය කළ යුතුයි. රජය පෞද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීමේදී අඩුම මිලට විදුලිය මිලදී ගත යුතුයි. නමුත් අදානි සමාගමට ඇමෙරිකානු ඩොලර් ශත 8.26 කට විදුලි ඒකකයක් විකිණීමට කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබෙනවා. ඉදිරි සති දෙක ඇතුළත අදානි සමඟ මේ සම්බන්ධයෙන් වන ගිවිසුමට රජය සමඟ අත්සන් කිරිමට නියමිතයි. ඒ වගේම අදානි සමාගම පසුගිය මාර්තු මාසයේ ඉන්දියාවේ සුළං විදුලි බලාගාරවලින් ඉන්දියාවට විදුලි ඒකකයක් විකුණුවේ ඇමෙරිකානු ඩොලර් ශත 3.25 කට. අදානි සමාගමට ඇමෙරිකානු ඩොලර් ශත 8.26 කට විදුලි ඒකකයක් විකිණීමට කැබිනට් පත්‍රිකාව අනුමත කළ දවසේ කැබිනට් මණ්ඩලයේ සිටියේ ඇමැතිවරු 6 දෙනයි. කැබිනට් මණ්ඩල න්‍යාය පත්‍රයට ඇතුළත් නොකර මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගිවිසුමත් තව සති කිහිපයකින් අත්සන් කරන්න සුදානම් වෙනවා.

නව විදුලි බල පනත සහ අදානි සමාගම නිසි ක්‍රියාපටිපාටියකින් තොරව ලංකාවට විදුලිය විකිණීම සම්බන්ධව ජනාධිපතිවරයා සහ විදුලි බව ඇමැතිවරයා අනුමැතිය දෙන පනත් සහ ගිවිසුම් වලින් ලංකාවේ ජාතික ආරක්ෂාවට දැවැන්ත ප්‍රශ්නයක් ඇති වෙනවා. නව විදුලිබල පනත සම්මත වුණොත් ලංකාව තවදුරටත් අනාරක්ෂිත වෙනවා. රටේ වටිනා සම්පත් දූෂිත ආයෝජකයන්ට පවරා දීමේ වැඩපිළිවෙළ ශක්තිමත් වෙනවා. මේ සඳහා රටේ ජනතාව පක්ෂ භේදයකින් තොරව විරුද්ධ විය යුතුයි. සමගි ජනබලවේගය නව විදුලිබල පනතට විරුද්ධව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරනවා. ‘‘