සමගි ජන සන්ධාන රජයක් තුළ වැවිලි කර්මාන්තයේ නියැලි සිටින සේවක ජනතාවගේ අයිතිවාසිකම් සුරකින බවට වන ප්‍රතිඥාවක් ලබා දෙමින් ප්‍රඥප්තියකට අත්සන් කිරීමට අද (14) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කටයුතු කළේය.

දශක ගණනාවක් පුරා පැවැති රජයන් විසින් වැවිලි කර්මාන්තයේ නියැලී සිටින ප්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කළත් සමගි ජන සන්ධාන රජයක් තුළ එවැනි අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් ඔවුන්ට හිමි සෑම අයිතිවාසිකමක්ම ලබා දෙන බවටත් වන ප්‍රඥප්තියකට මෙසේ අත්සන් කරන ලදී.

මේ සඳහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් එහි නායකවරයා වන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, දමිල ප්‍රගතිශීලී සන්ධානය නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, National Workers Union නායක පලනි දිගම්බරම් මහතා, කඳුරට ජනතා පෙරමුණේ නායක වී. රාධාක්‍රිෂ්ණන් මහතා, කෑගල්ල දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. සුජිත් කුමාර මහතා, මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. වේලුකුමාර් මහතා සහ නුවරඑළිය දිස්ත්‍රික් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. උදයකුමාර් මහතා අත්සන් තබන ලදී.