ශ්‍රී ලංකා ඉතිහාසයේ තවත් එක අයවැයක් වන මෙය ඉදිරිපත් කරන මොහොතේ අපේ රට බංකොලොත් තත්වයකට ඇද දමා තිබෙන බවත් මුදල් ඇමතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අයවැය කතාව තුලින් පව් සමාකිරීමක් සිදුකල බවත් අද (18) අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පැවසීය.

ඉම්තියාස් බාකීර් මාකාර් මහතා කතාව ආරම්භ කරමින් කියා සිටියේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ රට මේ වන විට ආර්ථික ඛේදවාචකයකට මුහුණ දී සිටින බවයි .

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්කල අයවැය කතාව උපුටා දක්වමින් ඉම්තියාස් මන්ත්‍රීවරයා මෙසේද පැවසීය,

“එක්දහස් නමසිය පණස් ගණන් සිහිපත් කරමින් වරෙක ලී ක්වාන් යූ මෙහෙම සඳහන් කළා. සිංගප්පූරුවේ මම දුෂ්කර එහෙත් නිවැරදි මාවත අනුගමනය කළා. ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජනප්‍රිය මාව, අනුගමනය කළා” ලී ක්වාන් යූගේ කථාව උපුටා දක්වලා අපේ මුදල් ඇමතිවරයා තවදුරටත් මෙහෙම කියනවා.

“මේ ජනප්‍රිය මාවතේ තවදුරටත් ඉදිරියට යෑමෙන් රටට අනාගතයක් නැහැ. අනුන්ට ණය වෙමින් සහන ලබාදුන්නා කියා රටට සුගතියක් ඇතිවන්නේ නැහැ. අපි අලුතින් හිතමු චින්තන රටාව වෙනස් කර ගනිමු.”

මුදල් ඇමතිවරයාගේ අයවැය කතාවෙන් උපුටා දැක්ම අවසන්.

මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කරමින් මේ පව් සමාකරන ප්‍රකාශය කළේ බණ්ඩාරණායක කඳවුරේ සාම්ප්‍රදායික උරුමකරුවන් තමන් ලඟින් සහ පසු පසින් තබා ගනිමින් බවයි මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රකාශ කලේ.

මේ බංකලොත් බවට හේතුවූ ගමන් මග ගැන ඔහු ගිය අයවැයේදී මෙලෙස අමු අමුවේ ප්‍රකාශ කර සිටියා.

පාර්ලිමේන්තුව අමතමින් ඉම්තියාස් බාකීර් මාකාර් මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය,

“අද මේ අයවැය ඉදිරිපත් කර ඇත්තේ අපේ අධිකරණය අපේ රට බංකොලොත්වීමට ආසන්න හේතූන් හෙළිදරව් කරන ඓතිහාසික නඩු තීන්දුවක් ප්‍රකාශ කර ඇති පසුබිමක. මෙම අධිකරණ තීන්දුව ශ්‍රී ලංකාවේ දේශපාලන හැදියාව නිසි මගට ප්‍රවේශ කිරීම සඳහා ඉමහත් බලපෑමක් ඇති කරන නඩු තීන්දුවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.

මෙම අධිකරණ තීන්දුව දේශපාලන හැසිරීම්වල වගවීම් පාර්ශවය ඉස්මතු කර පෙන්වන්නක් වෙනවා.

කිසිදු අධ්‍යයනයක් හෝ විද්‍යාත්මක විග්‍රහකර බැලීමකින් හෝ තොරව ගන්නාවූ තීන්දු තීරණ හේතුවෙන්, රටේ ජාතික ආදායමෙන් විශාල ප්‍රතිශතයක් රටට අහිමිවී ජනතාවට අත්විඳින්නට සිදුව ඇත්තේ ඉමහත් වේදනා සහගත තත්වයකට මෙන්ම ලෝකය ඉදිරියේ නින්දාසහගත තත්වයකට.

මේ ගැන කථාකරද්දී මම ඊයේ Daily F.T පුවත්පතේ දුටු පළමු පිටුවේ ප්‍රවෘත්තියක් ගැන සභාවේ අවධානය යොමුකරන්නට කැමතියි. එහි සිරස්තලය “Dr.Sharmini Coorey Responds to Port City Economic Commission” යන්නයි.

මේ ප්‍රවෘත්තිය පළමු පිටේත් දෙවෙනි පිටුවේත් සඳහන් වෙනවා. මහබැංකුවේ 78 වන සංවත්සරය අවස්ථාවේ විශේෂ දේශනය කරමින් ඒ මහත්මිය කළ කථාව ගැන, වරාය නගර කොමිසම ( Port City Economic Commission ) එවා තිබූ පැහැදිලි කිරීමට ප්‍රතිචාරයයි, එහි පළකර තිබුණේ.
එතුමිය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශ්‍රාමික අධ්‍යක්ෂිකාවක් මෙන්ම, වත්මන් රජයේ උපදේශිකාවක්ද වෙනවා.

වරාය නගර කොමිසමට අදාලව මෙන්ම, ශ්‍රී ලංකා රජය සිදුකර ඇති මේ බදුවලින් නිදහස් කිරීම්, කිසිසේත් ශ්‍රී ලංකාවට දරාගත හැකි තරම් නොවන බවත්, ජාත්‍යන්තර එකඟතාවන්ට අනුව බදු අය කිරීම් සිදුකළ යුතුව තිබෙන බවත්, ඒ සඳහා පියවර ගැන්මේ අවශ්‍යතාවන්, තම දේශනයේදී කියා සිටි අයුරින්ම, නැවත වරක්, වරාය නගර කොමිසමට ප්‍රතිචාර දක්වමින්, ඇය Daily F.T පුවත්පතට, අවධාරණය කරමින් පවසා තිබෙනවා. එම ප්‍රවෘත්ති වාර්තාව මම හැන්සාඩ්ගත කිරීම සඳහා ඔබතුමන්ගේ අවසරය පතනවා. මම කැමතියී, ඉන් වැදගත් වාක්‍ය කිහිපයක් උපුටා දක්වන්නට. (සිංහල පරිවර්ථනය)

රජයේ උපදේශිකාවක් ප්‍රසිද්ධියේ කර ඇති මේ හෙළිදරව් කිරීම් මෙන්ම, දී ඇති උපදෙස් පිලිපදිමින්, රජය සිදුකර ඇති මේ වැරදි නිවැරදි කර ගනිමින්, කටයුතු කිරීමක් නම්, මේ අයවැය යෝජනාවලින් සිදුවී නැහැ. රටේ යහලත සඳහා, හිස් වචන වෙනුවට අප සද්භාවයෙන් කටයුතු කළ යුතුව තිබෙනවා.

ශ්‍රී ලංකාව ආර්ථික අතින් හිස ඔසවන්නට නම්, අප නිවැරදි මාවතට, රට යොමුකරගත යුතුව තිබෙනවා යන්න, අප කවුරුත් පිලිගත යුතු කරුණක්.

එහෙත් කණගාටුවට කරුණ, ශ්‍රී ලංකාවේ අප තවමත් දකිමින් සිටින්නේ, සටන් පාඨ සහ සුරංගනා කථාවලින් පිරුණු සුපුරුදු, සාම්ප්‍රදායික අයවැය කථාවන්මයි.

පසුගිය වසර කිහිපය තිස්සේම අයවැය කථාවන්ගෙන්, ඉහළ නිම් වළලු ගැන කථා කළද, ක්‍රියාවන් සහ ප්‍රතිඵල නිරීක්ෂණය කරන විට, ඒ ඉලක්කයනට ලඟාවීමට අපොහොසත්වීම, අප දිගටම දකිනවා.

අයවැය පරතරය ගත්තද, රජයේ ආදායම ගත්තද, රජයේ වියදම ගත්තද, අයවැය ලේඛන වලින් ප්‍රකාශිත ඉලක්කයනට ලඟා නොවීම, අප දකින යථාර්ථයයි.

2022 වසරට වඩා, 65% ආදායම් වැඩිකර ගැනීමක් ගැන, 2023 අයවැයෙන් රජය කථාකර තිබූණා. එහෙත්, ඒ ඉලක්කයට සමීපවන්නටවත් බැරිවී තිබෙනවා.

මෙවර අයවැයෙනුත්, 2023 වසරට වඩා 45% ආදායම් වැඩිවීමක් ගැන, කථා කරනවා. ඒ කියන්නේ ත්‍රිලියන 4ක ආදායම් වැඩිකර ගැන්මේ ඉලක්කයක් ගැන.

අයවැය කථාවලින් ඉදිරිපත් කරන, ඉලක්කයනට ලඟා නොවීමේ කථාවට අමතරව, ක්‍රියාවට නොනැගෙන යෝජනා ගොන්නක් පිළිබඳ කථාවද, අපට ගියවර අයවැයෙන්, ඉදිරිපත් කළ යෝජනා, ක්‍රියාත්මකවීම ගැන විමර්ෂනය කරන විට, පැහැදිලිව දැක ගන්නට පුලුවන්.

ඒ ඉදිරිපත් කළ යෝජනා සියල්ලේම, ප්‍රායෝගික යථාර්ථය ඉදිරිපත් කරන්නට මට වෙලාවක් නැහැ.

එමනිසා උසස් අධ්‍යාපනය ගැන පමණක්, ඉදිරිපත් කළ යෝජනාවන් ගැන, සභාවට කියන්නට මම කැමතියී. මම මේ කරුණු ඉදිරිපත් කරන්නේ, පාර්ලිමේන්තුවේ පර්යේෂන අංශය, අදාල අමාත්‍යාංශ වලින් ලබාගත්, ලිඛිත තොරතුරු පදනම් කරගෙනයී.

2023 අයවැය කථාවේදී මුදල් අමාත්‍යවරයා, අත්පොලසන් හඬ මධ්‍යයේ කියා සිටියා, “රුහුණු සහ යාපනය යන විශ්වවිද්‍යාල සඳහාත්, පශ්චාත් උපාධි ආයතන ආරම්භ කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 60ක් වෙන් කරනවා.” කියලා. මම ඒ විශ්වවිද්‍යාල ප්‍රජාවන්ගෙන් විමසුවා, ඒ ගැන.

මෙතෙක්, එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කර නැති බව, ඔවුන් මට දැන්වූවා. පසුව මේ යෝජනාවේ ප්‍රගතිය ගැන, පාර්ලිමේන්තු පර්යේෂන අංශය මගින් අදාල අමාත්‍යාංශයෙන් විමසීමට කටයුතු කළාම, වෙන්කර ඇති ප්‍රතිපාදන පාවිච්චි කර නැති බවත්, ශක්‍යතා අධ්‍යයනයක් කරන ලෙස අදාල විශ්වවිද්‍යාලයනට දන්වා ඇති බවත්, අදාල අමාත්‍යාංශය වාර්තා කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී මේ යෝජනා ප්‍රකාශයට පත්කරන්නට පෙර, මේ යෝජනා ගැන, අධ්‍යයනයන් සිදුකිරීමක් සිදු නොකර, සූදානමක් නැතිව කරන ප්‍රකාශදෝ යන ප්‍රශ්නය මෙහිදී පැහැදිලිවම මතුවෙනවා.

එමෙන්ම 2023 අයවැය කථාවේදී උසස් අධ්‍යාපන විෂය යටතේ මුදල් අමාත්‍යවරයා මෙසේ ප්‍රකාශකර සිටියා.

“2022 උසස් පෙළ විභාගයෙන්, විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගන්නාවූ සිසුන් 75 දෙනෙකු, ඔවුන් තෝරාගන්නාවූ විෂය ක්ෂේත්‍ර පදනම් කරගෙන, විදේශ විශ්වවිද්‍යාලවලින් උපාධි හැදෑරීම සඳහා, ශිෂ්‍යත්ව 75ක් ලබාදීමට මම යෝජනා කරනවා.”

2022 උසස් පෙල විශිෂ්ඨ ලෙස සමත්වූ, තෝරාගත් සිසුන් 75දෙනා, විදේශ විශ්වවිද්‍යාල වලට යැවීම සඳහා, කළ ප්‍රකාශයන් ඉටුවී ඇද්ද? ඒවාත්, අනෙක් යෝජනා මෙන් තවමත් ඉටුවී නැති හුදු යෝජනා පමණක් ද? යන්න ප්‍රශ්නයක්. පාර්ලිමේන්තු පර්යේෂන අංශය ලබාදුන් වාර්තාවට එකඟව, එම යෝජනාවත්, ඉටුකිරීමට සූදානමක් ඇතිව, වැඩපිලිවෙලක් ඇතිව, කළ ප්‍රකාශයක් නොව, තවමත් ශිෂ්‍යත්ව සඳහා, රටවල් සමග සාකච්ඡා ආරම්භ කිරීම පමණක්, සිදුව ඇති යෝජනාවක් බවයි, පෙනී යන්නේ.

පසුගිය අයවැයෙන්, උසස් අධ්‍යාපන විෂය යටතේ යෝජනා කළ, ශ්‍රී ලංකාවේ ඉතිහාසය හැදෑරීම සඳහා වූ ආයතනයක්, 75 වන නිදහස් සමරු දිනයේදී ආරම්භ කරන බව ප්‍රකාශ කළා. එහෙත්, ලැබී ඇති වාර්ථා අනුව, ඒ සඳහා වෙන්කළ මුදල්, භාවිතයට ගැනීමක් හෝ, ආයතනය ආරම්භ කිරීමක් මෙතෙක් සිදුවී නැහැ.

මේ අයුරින්, පසුගිය අයවැයෙන් සාමාන්‍ය අධ්‍යාපනයටත්, වෙනත් විෂය ක්ෂේත්‍රයන් යටතේත්, ඉටුකරන බව ප්‍රකාශිත යෝජනා බහුතරයක්, හුදු වචනවලට පමණක් සීමාවී තිබීම ගැන මට කරුණු පෙළගස්වන්නට පුළුවන්.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ඇති දැවෙන ප්‍රශ්න ඇමතීමකින් තොරව, ක්ෂේත්‍රයේ විද්වතුන් ඇතුළු අදාල පාර්ශවයන්ගේ අදහස් ලබා ගැනීමකින් හෝ, සූදානමකින් හෝ නිසි අධ්‍යයනයකින් තොරව, විවිධ ආයතන ආරම්භ කිරීම් ගැන යෝජනා ඉදිරිපත් කිරීම් සිදුකිරීම දිගටම මේ අයවැය කථාවන්ගෙන් අපි දකින දෙයක්වී තිබෙනවා

අද අපේ සාමාන්‍ය අධ්‍යාපනයේත්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේත්, ඉදිරියේ ඇති බැරෑරුම් සහ හානිකර තත්වයන්හි අනතුරුදායක බව වගකිවයුත්තන් තේරුම්ගෙන ඇති බවක් නම් පෙනෙන්නට නැහැ.

මේ සභාවේදී බොහෝ දෙනා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන කථාකර තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය වගේම, මිනිස් ජීවිත හා බැඳුණු අත්‍යාවශ්‍ය ක්ෂේත්‍රයක්, අධ්‍යාපන ක්ෂේත්‍රය. අපේ අනාගත පරපුරේ අනාගතය හා සම්බන්ධ, අධ්‍යාපන ක්ෂේත්‍රයද, අවාසනාවන්ත තත්වයකට ඇද වැටීමේ අනතුරුදායක තත්වයක් අබියසට, අප පැමිණ ඇති බව තේරුම්ගත යුතුව තිබෙනවා.

වසර පතා විශ්වවිද්‍යාල වලට එක්වන, ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ යාම සහ අනෙක් පැත්තෙන් රට මුහුණ දී ඇති බුද්ධිගලනය හේතුවෙන්, විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන අංශයන්හි සිටිය යුතු කථිකාචාර්යවරුන්ගේ සංඛ්‍යාවේ හිඟය ආදිය මෙන්ම, රටේ ආර්ථික තත්වය හේතුවෙන් ශිෂ්‍ය ප්‍රජාව මුහුණ දී ඇති ආර්ථික ගැටළු, මානසික පීඩනයන් ආදී කරුණු ගැන වගකිවයුතු පාර්ශවයන් ගැඹුරින් කල්පනා කළ යුතු තත්වයක් උදාවී තිබෙනවා.

පාසල්වල මෙන්ම විශ්වවිද්‍යාල දරුවන්ද, සියදිවි නසා ගැනීම්, මානසික රෝගීන් බවට පත්වීම්, කලන්තෙ සෑදී ඇද වැටීම් මෙන්ම වේල් කිහිපයක්ම ආහාර නොගන්නා තත්වයක් තිබීම වැනි කරුණු දිනපතා වාර්ථාවීම අප දකිනවා. රටේ ජනගහනයෙන් අඩක් පමණ දිළිඳුකමේ රේඛාවෙන් පහලට වැටීම පිළිබඳ, නිල වාර්තාවන් ප්‍රකාශයට පත්වෙමින් තිබෙනවා.

රට පුරා දිග හැරෙන මේ යතාර්ථයට වඩා, රෝසමල් පින්තූරයක් රටේ ප්‍රධාන මාධ්‍ය මගින් සහ සමාජ මාධ්‍යජාලා මගින් පාලකයන් මවමින් සිටිනවා.

“දැන් සියල්ල හොඳින් කළමණාකරණය වෙනවා. 2048 දී රට යථා තත්වයට එනවා. ලෝක නායකයන් අපට උදව් කරනවා. එම නිසා දැන් සියල්ල හොඳයි.” කියමින් එක්ටැම් ගෙවල්වල සිට කරන කථාවන් සහ දුක වේදනාව පිට කරන්නට වීදි බසින ජනකොටස්වලට එල්ල කරන ම්ලේච්ච මර්දනයන් මෙතෙක් අපි දකිමින් සිටියා.

දැන් මග හැරිය නොහැකි ප්‍රධාන මැතිවරණයන් ආසන්නයට රට එලඹෙන විට, උපාය මාර්ග වෙනස් කරමින්, චන්ද අයවැයක් ඉදිරිපත් කිරීමයි, අප දකින්නේ.

මුදලේ බලයෙන් සහ ආණ්ඩු බලයෙන් මාධ්‍යවල සාමාජ මාධ්‍ය ජාලාවල කුමන දුස් ප්‍රවෘත්ති පල කළත්, පතුරුවා හැරියත්, මේ සභාව තුළ සිටිමින් කුමන සුරංගනා ලෝක මැව්වත් අවසන් තීන්දුව දිය යුත්තේ ජනතාවයි. ජනතාවගේ බුද්ධිය අපි අවතක්සේරු නොකළ යුතුයි. සියළු දේශපාලන නායකයන්ගේ මෙන්ම සියළු දේශපාලන බලවේගවල පැටිකිරිය මේ රටේ ජනතාව දැන් හොඳින් තේරුම්ගෙන තිබෙනවා. කිහිපවිටක්ම සටන් පාඨවලට, සුරංගනා ලෝකවලට රැවටී වලේ වැටී ඇති ජනතාව දැන් බලාසිටින්නේ අවස්ථාව ලැබෙනතෙක්.”