අත්තනෝමතික ලෙස මේ වසරේ තුන්වන වතාවටත් වැඩිකළ විදුලි බිලට එරෙහිව ඊයේ (25) දිනයේදීත් රට පුරා විරෝධතා මාලාවක් පැවැත්විය.

සමගි ජන බලවේගය සංවිධානය කර තිබූ විරෝධතා ඔරුගොඩවත්ත, දිගන, තලංගම, නිකවැරටිය, බලපිටිය ආදී ප්‍රදේශ වල පැවැත්වූ අතර එම ප්‍රදේශවල ප්‍රදේශවාසින් සිය ගණනක් රාත්‍රියේදී පන්දම් දල්වමින් විරෝධය දැක්වීම දක්නට ලැබුනා.

ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පැවති විරෝධතාවයට එක්වෙමින් සමගි ජන බලවෙගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මන් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ජන වරමක් නොමැති වත්මන් ජනාධිපති සහ රජය ගෙනයමින් තිබෙන අත්තනෝමතික පාලන ක්‍රමයට එරෙහිව සහ දරාගත් නොහැකි ලෙස බදු වැඩිකරමින් ජනතාවට එල්ලකරන පීඩනයට එරෙහිව නුදුරේදීම ලක්ෂගණන් ජනයා කොළඹට පැමිණ වත්මන් පාලන තන්ත්‍රය විසින් වෙලාගෙන සිටින මන්දිර වටලා ජන පිඩක ආණ්ඩුව පලවාහරින බවයි.

මීට අමතරව කොළඹ බලශක්ති අමාත්‍යාංශය ඉදිරිපිට ද විරෝධතාවක් පැවැත් වූ අතර එය සංවිධානය කර තිබුණේ ජන අරගලය පුරවැසියෝ සංවිධානය විසිනි.

එම සංවිධානයේ නියෝජිතයකු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විදුලි බිල වැඩි කිරීම මගින් අධ්‍යාපන අවස්ථා අහුරා තිබෙන ජනවරමකින් තොර පාලන තන්ත්‍රය විසින් ජනතාව වෙත එල්ල කර තිබෙන පීඩනය තවදුරටත් බිඳ විඳ දරාගෙන සිටීමට සූදානම් නැති බවත් ය.