පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතැම් කොටස් තවමත් වසන්කර තැබීම නිසා තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවී ඇති බවත් එම වරප්‍රසාද ආරක්ෂා කර දීමේ පූර්ණ වගකීම කතානායකවරයා සතු බවත් අද (19) පාර්ලිමේන්තු ආරම්භයේදීම විපක්ෂ නායකවරයා කතානායකවරයාගෙන් ප්‍රශ්න කළේය.

විපක්ෂ නායක කාර්යාලය මගින් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ දෙවැනි වෙළුමේ දෙවැනි හා තෙවැනි කොටස් පරිශීලනය කිරිමට ඉල්ලා සිටි නමුත් එය ලබා දිය නොහැකි බවත් එම කොටස් පරිශීලනය කිරීමට අවශ්‍යනම් පාර්ලිමේන්තු පුස්තකාලයට පැමිණ එය පරිශීලනය කරන ලෙසත් තමාට දැනුම් දුන් බවත් එය ගෝඨාභය ජනාධිපති සමයේ ගෙන එන ලද නීතියක් වන අතර පාස්කු ප්‍රහාරය පිලිබදව කරුණු හෙළිදරව් වී තිබෙන පසුබිමක එවන් නීතියක් තවදුරටත් ආරක්ෂා කිරීම එල රහිත බවත් මේ සා විශාල ලේ වැගිරීමක් සිදුකල පාස්කු ප්‍රහාරයේ කරුණු වසන් කිරීම හාස්‍යට කරුණක් බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා ඇති විවාදයට පෙර එම කොටස් කියැවීමට හා ලබා ගැනීමට කටයුතු කරන ලෙසත් එසේ නොකළහොත් හා සඟවා තිබුනොත් එය හංගන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අතේ ලේ තැවරුණු අය ලෙස හදුන්වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් අවධාරනය කළේය.

මෙම සාක්ෂි විමසීම් සහ සාක්ෂි සටහන් රටේ ජනතාවගෙන් සහ ජනතා නියෝජිතයන්ගෙන් වසන් කිරීම පිළිබඳ ප්‍රශ්නයට නැගූ විපක්ෂ නායකවරයා කියා සිටියේ දැන් වත් මෙම කරුණු හෙළිදරව් කර රටට සත්‍ය හෙළිකිරීමට කතානයකවරයට බරපතල වගකීමක් ඇති බවයි.