රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීමට පත් කළ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පත් කිරීම තුළ එම තේරීම් කාරක සභාව කතා සාප්පුවක් විය හැකි බවත් බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම බේරා ගැනීම මේ තුළින් සිදු වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දූෂණ විරෝධි පනත සම්මත කිරීම තවත් සති 2 කින් කල් දැමීමට බැසිල් රාජපක්ෂගේ පක්ෂපාතී පිළ කටයුතු කළත් කෙසේ හෝ මෙය සම්මත කර ගත් බවත් පුන පුනාම මේ උත්සාහ දරන්නේ ලැබුණු මේ තාවකාලික විරාමය තුළ මොවුන්ගේ අතකොලුවන් ලවා නැවත තමන්ගේ වැරදි වහ ගන්නට බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (10) විපක්ෂයේ විධායක සභාව රැස් වූ අවස්ථාවේ එය අමතමිනි.

එබැවින් මෙම තේරීම් කාරක සභාවෙන් කිසිදු පළක් නොවන හෙයින් විපක්ෂය විසින් එකට එකතු වී තේරීම් කාරක සභාවක් සකස් කර රට බංකොලොත් වීමට හේතු සොයා නැවත රට ගොඩ ගැනීමට කටයුතු කිරීමට එක්වන ලෙසත් කතානායකවරයා පවා පවසා ඇත්තේ විපක්ෂයට එවැනි හැකියාවක් ඇති බවත් එම කාරක සභාවට පාර්ලිමේන්තුවේ 225 ඕනෑම අයකුට පැමිණිය හැකි බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.