පෑඩ් මෑන් බස් මෑන් යනුවෙන් විවිධ අන්වර්තනාම තමාට පටබැන්දත් එයින් කිසිසේත්ම නොසැලෙන බවත් ඔවුන්ට කියන්න ඇත්තේ රටට විසඳුම් දෙන්න පෙර තමන් ඉගෙන ගත් පාසලට යමක් කරන ලෙසත් කුමන කතා කිව්වත් විපක්ෂයේ සිට කරන මේ සංවර්ධන ගමන කිසිසේත්ම නොනවත්වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (12) තඹුත්තේගම නගරයේ පැවැති ජන රැළිය අතරතුරදී ය.
රටේ ලක්ෂ 220ම ජනතාව, ගොවියා, පාසල් සිසුවා ආදී සෑම දෙනාම අනාථ වී අසරණ වී ඇති බවත් රටේ ජනතාවගෙන් බහුතරයක් කුසගිණි නිවාගත නොහැකිව සිටින අපේ රටට ඇති එකම උත්තරය වන්නේ මුදල්, ඩොලර් සහ විදේශ විනිමය සෙවීම බවත් මෙතෙක් කාලයක් පුරා රටේ ආණ්ඩුවවත් නොකළ ආකාරයේ සේවයක් සිදු කරමින් වත්මන් විපක්ෂය වන සමගි ජන බලවේගය බලයක් නොමැතිව වුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍ර සඳහා සුවිශාල සේවයක් ඉටු කළ බවත් විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
එබැවින් මේ රටට අවශ්‍ය මුදල් සෙවිය හැකි, ගොවියාව රජ කළ හැකි නායකත්වයක් බවත් ඒ සඳහා සමගි ජන බලවේගය සියලු සුදුසුකම් මේ වන විටත් සපුරා ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ සමගි ජන බලවේග රජයක් තුළ මේ රටේ එතෙක් මෙතෙක් නොතිබූ ගොවිජන විප්ලවයක් ආරම්භ කරන බවත් ඒ තුළින් සුහුරු ගොවියකු බිහි කර අතරමැදියන්ට ගොදුරක් නොවී තම නිෂ්පාදන අන්තර්ජාලය හරහා අලෙවි කර ගත හැකි ක්‍රමවේදයක් ස්ථාපිත කර බවත් පැවසීය.