ප්‍රහාරය සිදුවී වසර 4 ක් සම්පූර්ණ වුවත් මේ වනවිටත් පාස්කු පාස්කු ප්‍රහාරයේ චුදිතයන් වන අපරාධකරුවන් සම්බන්ධයෙන් කිසිඳු අධිචෝදනාවක් යටතේ අපරාධ නඩු ගොනු කර නොමැති වීම පිළිබදව ප්‍රශ්න කරමින් සමගි ජන බලවේගය නීතිපති සන්ජේ රාජරත්නම් මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.

මෙම ලිපිය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් අද දින මෙම යොමු කොට තිබේන අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තාරක නානායක්කාර සහ නීතිඥ ලිහිනි ප්‍රනාන්දු ඇතුලු නීතිඥ කණ්ඩායමක් මේ ඉල්ලීම නීතිපතිවරයා වෙත බාර දී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කාවින්ද ජයවර්ධන, හෙක්ටර් අප්පුහාමි, නීතීඥ තාරක නානායක්කාර සහ නීතිඥ ලිහිනි ප්‍රනාන්දු ඇතුලු නීතිඥ කණ්ඩායමක් මේ ඉල්ලීම නීතිපතිවරයා වෙත බාර දී තිබේ.

සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

2023.01.30.

ජනාධිපති නීතිඥ සන්ජේ රාජරත්නම්,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු නීතිපති,
නීතිපති දෙපාර්තුමේන්තුව,
159, අලුත්කඩේ,
කොළඹ 12.

ගරු නීතිපති තුමණි,
2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව අපරාධ අධිචෝදනා ගොනු කිරීම සම්බන්ධවයි.

වර්ෂ 2019 අප්‍රියල් මස 21 වන දින ලක්වාසි කිතුණු බැතිමතුන්ගේ පූජෝත්තම දිනයක් වන ‘‘පාස්කු ඉරිදා” දිනය කිතුණු දේවස්ථාන හා සංචාරක හෝටල් කිහිපයක් ඉලක්ක කරමින් එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය ආගමික භේදයකින් තොරව සියලු ලොකවාසී ජනතාවගේ හදවත් ප්‍රකම්පනයට පත් කරන්නක් විය. මරාගෙන මැරෙණ ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාරයන් ඉල්ල කරමින් ජීවිත 270 ඝාතනයට ලක් කරමින් සහ 500 ට අධික පිරිසකට බරපතල තුවාල ගෙන දෙමින් සිදු කළ මෙම ම්ලේච්ඡ ප්‍රහාරයේ වගකීම ජාත්‍යන්තර අයිසීස් සංවිධානය විසින් භාර ගත්තද ප්‍රහාරය සිදුවී පැය 24 ක යන්නට මත්තතෙන් එකී ප්‍රහාරය සැළසුම් කරමින් ක්‍රියාත්මක කරන ලද සංවිධානාත්මක ජාලය අත් අඩංගුවට ගැනීමටත් ඔවුන්ගේ සියලු සම්බන්ධතා හෙලි කර ගැනීමටත් ආරක්ෂක අංශ සමත් වූ බව මේ වන විට නොරහසක්.

එකී ත්‍රස්ත ප්‍රහාරය හේතු කොටගෙන මෙරට දේශපාලනයේ ඇතිවූ ප්‍රවනතා අධ්‍යනය කිරීමේදී එකී ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සංවිධානාත්මක දේශපාලන කුමණ්ත්‍රණයක් පැවති බව ජාතික මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මාධ්‍ය සහ වගකිව යුතු සංවිධාන මතුකරණ ප්‍රභල කාරණයක් වේ.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ ජනක් ද සිල්වා මහතාගේ සභාපතීත්වයෙන් යුතු ‘‘පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව” පත් කළ බවත්, එකී විමර්ශනයේ සම්පූර්ණ වාර්ථාව වර්ෂ 2021.02.01 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී ඇති බවත්, එකී වාර්ථාව තුළින් මෙම පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනය මගින් අනාවරණය වූ තොරතුරු, සැලසුම්, ත්‍රස්තවාදීන්, පූර්ව සූදානම, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල ප්‍රතිචාරය, වගකිවයුතු නිළධාරීන්ගේ සහ විධායකයේ හැසිරීම ආදී තොරතුරු රාශියක් අනාවරණය වූ බවත්, එමගින් මෙම පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයට සෘජුව සහ වක්‍රාකාරව වගකිවයුතු තැනැත්තන් සම්බන්ධයෙන් දීර්ග පැහැදිලි කිරීමක් සිදු කර එකී වගකිවයුත්තන්ට අදාලව සිවිල් සහ අපරාධ චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමටද එකී කොමිෂන් සභාව විසින් පියවර ගෙන තිබූ බවත් එකී වාර්තාවේ පැහැදිලිව දැක්වේ.

තවද පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පුද්ගලික පාර්ශවයන් විසින් ගොනු කරන මූලික අයිතිවාසිකම් නඩු විභාගයට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2023.01.12 වන දින තීන්දු කරන්නට යෙදුණු ඓතිහාසික නඩු තීන්දු ප්‍රකාශය මගින් ද පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයෙන් වගකිවයුතු සහ වන්දි ගෙවිය යුතු බවට තීරණය කරන ලද ඉහල මට්ටමේ දේශපාලන සහ පරිපාලන බලධාරීන් පිළිබඳ තීන්දු කරන ලදි.

කෙසේ වෙතත් පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතාමත් සංකිර්ණ සහ පුලුල් විමර්ශණ පවත්වා ඒ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් විසින්ද නිර්දේශයන් ද ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තීන්දු ප්‍රකාශයන්ද සිදු කර ඇති පසුබිමක එකී නිර්දේශ මගින් හා තීන්දු ප්‍රකාශය මගින් පැහැදිලිවම මෙම ප්‍රහාරයට වගකිව යුතු බවට තීරණය කර ඇති තැනැත්තන් හට අධිචෝදනා ගොනු කොර මේ සම්බන්ධයෙන් අපරාධ නඩු ගොනු කිරීමට තවමත් නීති පති දෙපාර්තු මේන්තුව විසින් කිසිඳු පියවරක් ගෙන නොතිබීම නීතියේ ආධිපත්‍ය කෙරෙහි ජනතාව අතර විශාල සැකයක් මතු කරන්නක් බව අපගේ අදහසයි.

ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ නඩු සියල්ල පවරා තිබුණේ පුද්ගලික පාර්ශවයන් විසින් ගොනු කරන ලද මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් බවත්, නමුත් සියලූම අපරාධයන් රජයට එරෙහි වැරදි බවට වන පූර්ව නිගමනයේ පිහිටා ක්‍රියා කළ යුතු මෙරට නීතියේ ආධිපත්‍ය සුරක්ෂිත කිරීමේ මූලස්ථානයක් වන ඔබ නීති පති දෙපාර්තු මේන්තුව විසින් පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ගොනු කර ඇති අධි චෝදනා මොනවාද යන්න දැන ගැනීමට මෙරට ජනතාට මෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ටද අයිතියක් ඇත. වර්ෂ 2023.04.21 වන දින වන විට පාස්කු ප්‍රහාරය සිදුවී වසර 4 ක් සම්පූර්ණ වන අතර මේ වන තෙක් ඊට වගකිව යුතු කිසි‍්ු අපරාධ කරුවන් සම්බන්ධයෙන් කිසිඳු අධිචෝධනාවක් යටතේ අපරාධ නඩු ගොනු කර නොමැති වීම සම්බන්ධයෙන් මෙයින් අප ඔබගෙන් ප්‍රශ්න කරන්නෙමු.

ඒ අනුව ඉහතකී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව මගින් සහ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්ථාව මගින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තන් පැහැදිලිවම නම් කර ඇති පසුබිමක ඔවුන් සම්බන්ධයෙන් අධි චෝධනා ගොනු කර කඩිනමින් අපරාධ නඩු පැවරීමට කටයුතු කරන ලෙස ඉතාමත් ග්‍රෞරවයෙන් අප ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

ස්තුතියි