මුදල් ඇමති, මහ බැංකුවේ අධිපති සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් යන මුල්‍ය පරිපාලනයේ ප්‍රමුඛ චරිත තුනම ඉල්ලා අස්වුන පසුවත් මුදල් නෝට්ටු අච්චු ගැසූ පොදුජන පෙරමුණු රජය තවත් ඒ ආකාරයේ කූප්‍රකට ගණු දෙනුවක් පසුගිය 11 වනදා රාත්‍රියේ සිදුකර ඇති බව වාර්තාවේ. ඒ ශ්‍රීලංකාව සතු දෙවන විශාලතම දූපත වන උච්චිමුණි දූපත ස්විස්ටර්ලන්ත සමාගමකට 30 වසරකට බදු දීමය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගෝටාගෝ ගම සහ මයිනාගෝ ගමට මැරයන් යවා රටටම ගිණි තබා පසු ගිය 9 වෙනිදා සිය ධූරයෙන් ඉල්ලා අස්විය. පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අගමැති ඉවත්වූ සැණින් කැබිනට් මණ්ඩළය අහෝසි වන්නේය. ඒ හා සමගම සියළු ලේකම්වරුනගේ ධූරද අහෝසි වන්නේය. (පසුගිය 10 වෙනිදා ජනාධිපතිවරයා විසින් මුදල්, ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යංශ සඳහා තුන සඳහා පමණක් හිටපු ලේකම්වරුන්ම නැවත පත් කරනුයේ එබැවිනි.) ඊට අමතරව උච්චිමුණි දූපත ස්විස් සමාගමට පැවරූ 11 වනදා රටටම ඇඳිරි නීතිය පණවා තිබුන අතර දින කිහිපයක සිටම හදිසි නීතියද ක්‍රියාත්මකව පැවතුනි. එවන් අවිනිස්චිත වාතාවරණයක් රට පුරා පැතිර තිබූ 11 වනදා රාත්‍රියේ ආණ්ඩුව උච්චිමුණි දූපත ස්විස් සමාගමකට පවරා දුන්නේය. 


කල්පිටිය දූපත් සමූහයට අයත් දූපත් දාහතරෙන් එකක් වන මෙම දූපත ප්‍රමාණයෙන් අක්කර 1500ක් ඉක්මවා යයි.  ඉතා අලංකාර වෙරළ කළාපයකින් යුත් උච්චිමුණියේ පවුල් 200 ක් පමණ පදිංචිව සිටිති. ඔවුන් සියළු දෙනාම ධීවර කර්මාන්තයෙන් ජීවත්වන්නෝය. මෙහි පාසලක් ඇතුළු ජනාවාසයකට අවශ්‍ය අංග පිහිටා තිබුන අතර ඉහළ සමුද්‍රීය ජෛව විවිධත්වයකට ඒ අවට සාගර කළාපය හිමිකම් කියයි. කලක සිට උච්චිමුණි දූපතේ හිමිකාරීත්වය තිබුනේ සංචාරක අමාත්‍යංශයටය. පසුගිය 11 වනදා දූපත ස්විස් සමාගමට පවරණ ගිවිසුම අත්සන් කර තිබෙන්නේද සංචාරක අමාත්‍යංශයේදීය. එහෙත් ඒවන විට සංචාරක අමාත්‍යංශයට ලේකම්වරයෙක් පවා නොසිටි බව අප අමතක කළ යුතු නොවේ.

මෙම දූපත අදාල ස්විස් සමාගමට බදු දී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 417කට බව වාර්තාවේ. එමෙත් මේ ගණුදෙනුවේ අරුමය වන්නේ මෙම දූපත ඩොලර් මිලියන 417 කට තක්සේවු කරන්නේ වර්ෂ 2000 දී වීමය. වසර 22 කට පෙර තක්සේරු කරන ලද සොච්චම් මුදලකට මේ අලංකාරයේ විසල් දූපතක් විදෙස් සමාගමකට බදු දීම පිටුපස සැලකිවයුතු රහසක් සැඟව ඇති බව පරිසරවේදීහු පවසති.  

ශ්‍රී ලංකා සංචාරක අමාත්‍යාංශයට මෙම දූපත අයත්ව තිබූ පමණින් වර්ෂ 2000 දී කළ ඇස්තුමේන්තුවකට 2022 වර්ෂයේදී බදු දීම සිදු කරනු ලබන්නේ කෙසේ දැයි සමස්ත ලංකා සංචාරක සේවා මග පෙන්වන්නන්ගේ සංගමයද විමසයි. අවම වශයෙන් මේ වනවිට මුදලේ අගයේ වෙනස් වීමවත් සළකා නොබලා මේ ගණුදෙනුව මෙතරම් අර්බුදකාරී අවස්ථාවක සිදු කිරීමට හේතුව කුමක්දැයි ඕවුහු ප්‍රශ්ණ කර සිටිති. 

මෙම දූපත බදු දෙනු ලැබුවේ කුමන ඉදිකිරීමක් සිදු කිරීමටද යන්න අපැහැදිලි අතර ජෛව විවිධත්වයකින් යුක්ත මෙම දූපතේ යම්කිසි ඉදි කිරීමක් සිදුකිරීමට පෙර ලබාගත යුතුව ඇති EIA ( Environmental Impact Assessment) සහතිකය මේ සඳහා ලබාගෙන නොමැති බවටද සමස්ත ලංකා සංචාරක සේවා මග පෙන්වන්නන්ගේ සංගමය පවසයි.

සංක්‍රමණික පක්ෂීනගේ නැවතුම් පොළක් ලෙසද වැදගත් උච්චිමුණි දූපත බදුගත් සමාගම එහි කුමණාකාරයේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයිද යන බිය එහි වෙසෙනා ධීවර පවුල් තුළ හටගෙන තිබේ. එමෙන්ම මේ දූපතේ සිදුකරනා ක්‍රියා අවට නොගැඹුරු සාගරයේ මත්ස්‍ය සම්පතට සෘජුවම බලපෑම් කරන්නට සමත් වන බැවින් ඔවුන් තුළ බලවත් නොසන්සුන් තාවයක් හටගෙන ඇත.