2024 අයවැයෙන් සහන රැසක් ලැබෙයි කියා ජනතාව බලාපොරොත්තුවන් සිටයත් ජනතාවගේ එම බලාපොරොත්තු කඩ වී ඇති බවත් අයවැයෙන් ලැබී තිබෙන්නේ සහන නොව අධික බදු බරක් බවත්  2023 අවුරුද්දට වඩා අති භයානක අවුරුද්දක් බවට 2024 අවුරුද්ද පත්වෙන බවත් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

ඊයේ (14) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුවේ මන්ත්‍රීවරු වැට් බද්ද සම්බන්ධයෙන් එකඟතාවයක නැති බවත් වැට් බද්ද සම්බන්ධයෙන් ආණ්ඩුවේ තිබෙන්නේ දෙබිඩි ප්‍රතිපත්තියක් බවත්  රංජිත් මද්දුම බණ්ඩාර මහතා  පැවැසීය.

වැට් බද්ද සියයට 18 ක් දක්වා වැඩි කිරීමෙන් 2024 ජනවාරි පළමු වැනිදායින් පසුව සෑම ඉන්ධන ලීයරයක්ම රුපියල් 60 ත් 70 ත් අතර මුදලකින් වැඩි වීමටත් නියමිත බවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ සියල්ලේම මිල ඉහළ යන බවත් මද්දුම බණ්ඩාර මහතා කීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු සහ දෙවැනි වාරික ලැබී තිබෙන බවත් නමුත් එම ණය වාරික ලැබීමෙන් ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් ලැබිලා නැති බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අවශ්‍ය පරිදී ආණ්ඩුව බදු වැඩි කර ජනතාව පීඩාවට පත් කරලා තිබෙන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදිහට නටන ආණ්ඩුවක් බවට වර්තමාන ආණ්ඩුව පත්වී තිබෙන බවත් මෙම මාධ්‍ය හමුවට එක්වූ  පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පැවැසීය.

ජනාධිපතිවරයා වැල් පාලමෙන් එගොඩ කරන්නේ රටේ ආර්ථිකය සහ ජනතාව නොවන රාජපක්ෂවරු ඇතුළු රට විනාශ කළ පිරිස බවත් ආර්ථිකය බංකොලොත් කළ පිරිස පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබෙන අවස්ථාවක  ජනාධිපතිවරයා මේ ආකාරයට කටයුතු කිරීම පිළිබඳ කණගාටු වන බවත්  බලය නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දූෂිත කණ්ඩායමේ සිරකරුවෙක් බවට පත් වී තිබෙන බවත් මයන්ත දිසානායක මහතා සඳහන් කළේය.