මේ දවස්වල එළිවෙනකොට අහන්න ලැබෙන්නේ රටේ කොහේ හරි තැනක ජාතික සම්පතක් හොර රහසේම විකුණා දැමීමේ ප්‍රවෘත්ති බවත්,ආණ්ඩුව සහමුලින්ම ක්‍රියාත්මක කරන්නේ ජනතාව මරණ මංචකයට දක්කාගෙන යමින් රටපුරා මාෆියාවට ඉඩදීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එක අතකින් 70 77 වකවානුවේ පැවැති පෝලිම් යුගය රට පුරා නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,දරුවන්ට කිරි පිටි ටිකක් නැතිව දෙමව්පියන් සුසුම් හෙලන වකවානුවක් එළඹ ඇති බවද පැවසීය.

සීනි වංචාව පොල් තෙල් වංචාව සිදුකරමින් ගජ මිතුරන්ට සහන සලසන ආණ්ඩුව මිනිස් ජීවිත සමග සෙල්ලම් කරන බව පැවසූ විපක්ෂ නායකතුමා , ආණ්ඩුවට එය එතරම් අපහසු දෙයක් නොවන බව කීය.කොරෝනා ව්‍යසනය උග්‍ර වන විට පැණි පොවමින් ජනතාවගේ ජීවිත අනතුරකට දැමූ හැටි රටේ ජනතාවට හොඳ හැටි මතක ඇති බවද ඒ මහතා පැවසීය.

අද වන විට රටේ ගොවි ජනතාව  අන්ත අසරණව සිටින බව පැවසූ විපක්ෂ නායකතුමා ,පොහොර හිඟයක් ඇති කොට  ඔවුන්ට නිසි ආකාරයේ අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි තැනට පත් කොට ඇති බවත් ,නෙලාගත් අස්වැන්න විකුණා ගන්නට නොහැකිව ගොවිජනතාව  අසරණව සිටින බවත් පැවසීය.

ඊට සාපේක්ෂව පාරිභෝගික ජනතාව අත්‍යාවශ්‍ය  භාණ්ඩ ගැනීමට දැඩි දුෂ්කරතාවයකින් පෝලිම් ගැසී සිටින අතර ජීවන වියදම අහස උසට නැගී ඇති බවද පැවසීය .

සෞභාග්‍යය දේශය වෙනුවට දුර්භාග්‍ය සම්පන්න දේශයක් නිර්මාණය වී ඇති බවත් මෙය ආණ්ඩුවේ අසාර්ථක ආර්ථික කළමනාකරණ ක්‍රියාවලිය නිසාම හටගත් අර්බුදයක් බවත් විපක්ෂ නායකතුමා පැවසීය. 

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 29 වන පියවර ලෙස රුපියල් ලක්ෂ විස්සක (රු. 2,000,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ බුත්තල ප්‍රාදේශීය රෝහලට අද (02) පරිත්‍යාග කරනු ලැබීය.

ඒ අනුව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාන භාර වෛද්‍ය නිලධාරී මහේෂ් නාරම්ගම්මන මහතා වෙත රුපියල් දෙලක්ෂ අනූපන් දහසක් (රු. 295,000) වටිනා Patient Monitor යන්ත්‍ර 2ක්, රුපියල් දෙලක්ෂ දසදහසක් (රු. 210,000) වටිනා Suction Apparatus යන්ත්‍රයක් හා රුපියල් දොලොස් ලක්ෂයක් (රු. 1,200,000) වටිනා High Flow Oxygen therapy යන්ත්‍රයක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය. මෙම අවස්ථාවට සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, මන්ත්‍රී ධර්මසේන විජේසිංහ, හිටපු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ඇතුළු ජනතා නියෝජිතයින් රැසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 28ක් තුල  ලක්ෂ 836ක (රුපියල් 83,634,000) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජනබලවේගය කටයුතු කරනු ලැබීය.