කූඨ ලෙස මෙරටට ගෙන්වන බාල ඖෂධ පිලිබදව විපක්ෂය දිගින් දිගටම හඬ නැගූ අතර මේ වන විට ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් (CID) ඖෂධ මාෆියාව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටී. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා කියා සිටියේ මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 5 ක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකරන බවයි.

මෙම පැමිණිලි ගොනුකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශක වරයකු, ස්වේඡා සංවිධානයකින්, ජාතික ඖෂධ නියාමන කොමිසම් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී , ඖෂධ නියාමන අධිකාරියෙන් ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ තවත් පුද්ගලයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසීය.

දිගින් දිගටම සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය සෞඛ්‍ය ගැටළු පිලිබදව, ඖෂධ මාෆියාව පිලිබදව ජනතාවට කරුණු හෙළිදරව් කල අතර සමගි ජන බලවේගයේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද පාර්ලිමේන්තුවට ගෙන එන ලදි. නමුත් යථාර්තය වන්නේ ජනතාවගේ ගැටළු පිලිබදව කිසිම තැකීමක් නොමැති බලය පමණක් රැකගැනීමට දිගින් දිගටම උත්සහ කරන ජනමතයකින් තොර රාජ්‍ය නායකයෙකු සහ පාර්ලිමේන්තුවක් යටතේ මෙම ගැටළු වලට නිසි විසදුම් බලාපොරොත්තු වීම එල රහිත බවයි.

ඊයේ දිනයේදී තවත් වැදගත් ඖෂධයක් හොර පාරෙන් ගෙන්වීම පිලිබදව හෙළිදරව් කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ බාල ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට රාජ්‍ය අනුග්‍රහයක් ලැබී ඇති බවත් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියෙන් බැහැරව ගෙන්වීමේ ඒ ක්‍රමවේදය බහුලවම ක්‍රියාත්මක කර ඇත්තේ වත්මන් ජනාධිපතිගේ රජය හා වත්මන් සෞඛ්‍ය අමාත්‍යාංශය බවත් ය.

එසේම මේ හරහා පුදුමාකාර හොරකම් රැසක් ක්‍රියාත්මක වන බවත් පිළිකා රෝගීන්ට දෙන බෙහෙත් ද බාල බෙහෙත් ලෙස හොර පාරෙන් ගෙනවිත් පිළිකා රෝගීන් මරණ මංචකය කරා ගෙන යාමට මේ රජය කටයුතු කර ඇති බවත් ස්වයං ප්‍රතිශක්තීකරණ රෝගවලින් පෙලෙන රෝගීන් ද මේ නිසා අපසුතාවට පත්ව ඇති බවත් ජීව විද්‍යාත්මක සංකීර්ණ ඖෂධයකින් පවා හොරකම වංචාව අල්ලස දූෂණය ක්‍රියාත්මක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

තවද මෙවැනි දෙයක් වෙද්දි ජනාධිපති බලා සිටීම පුදුම සහගත බවත් මේ හොර ඖෂධ ජාවාරමට සෞඛ්‍ය ඇමතිවරයා පමණක් නොව ජනාධිපති හා සෞඛ්‍ය ඇමති රකින්න ඡන්දය ලබා දුන් 113 දෙනාම වගකිව යුතු බවත් විශ්වාසභංගයේ දී බොරු කතා නිර්මාණය කර ඖෂධ මාෆියාව එක්ක 113ක් සිටගත් මොවුන් මේ බාල බෙහෙත් වංචාවන් සදහා එක හා සමානව වගකිව යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රටේ ජනතාව ජිවත් කරවීමට වඩා ජනාධිපතිවරයාට සෞඛ්‍ය ඇමතිවරයාගේ හිත සනසා තමගේ දේශපාලන ස්ථාවරත්වය ඇති කර ගැනීම වැදගත් වී ඇති බව යි.

බංකොලොත් රටේ මෙවැනි ජාවාරම් තුලින් මුදල් හම්බකිරීමේ ජාවාරම් සිදු කිරීමත් ඒ දෙස බලා කිසිත් නොකර සිටිමත් යුක්ති සහගත නොවන බවත් මිනිසුන් මරණ, මිනිසුන්ගේ ජීවිත විනාශ කරන මෙකී සාපරාධි ක්‍රියාවන්ට සම්බන්ධ සියලු දෙනාට විරුද්ධව සමගි ජන බලවේග රජයක් තුළ විනිවිදභාවයකින් යුක්තව රටේ නීතිය ක්‍රියාත්මක කර මේ සදහා වගකිව යුතු සියලු දෙනාම නීතිය හමුවට ගෙනවිත් නිසි දඩුවම් ලබා දෙන බව ද වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.