විවිධ පනත් හරහා ජනතා අදහස් හිරනොකර රට අද තිබෙන තත්ත්වයට ඇද දැමූ ආර්ථික ඝාතකයන්ව නීතිය හමුවට ගෙන එන ලෙස සමගි තරුණ බලවේගයේ ජාතික සංවිධායක චමිත් විජේසුන්දර මහතා පැවැසීය.

දේශපාලන කතාවලට රැවටෙන තරුණ පිරිසක් තවමත් ලංකාවේ සිටින බවත් දේශපාලන කතාවලට රැවටී රැල්ලට හසුනොවී බුද්ධිමත්ව කටයුතු කරන්නැයි රටේ තරුණයින්ගෙන් ඉල්ලා සිටින බවද චමිත් විජේසුන්දර මහතා කීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (12) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චමිත් විජේසුන්දර මහතා පැවැසීය.

“රනිල් වික්‍රමසිංහ බලයට පත්වුණාට පස්සේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමයි රටට ගොඩ යන්න තියෙන එකම මාර්ගය කියලා ජනතාවට පෙන්නන්න හැදුවා. නමුත් එහෙම තත්ත්වයක් නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන ඩොලර් මිලියන 300 න් රට යථා තත්ත්වයට පත් කරන්න බෑ. රටට ආර්ථික වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ප්‍රකාශ කරනවා. නමුත් එහෙම වැඩපිළිවෙලක් හදන බවක් පෙනෙන්නට නෑ

රජය වැඩකරන ජනතාවගේ ජලබිල / විදුලිබිල / ගෑස්මිල / ඉන්ධන මිල දරාගැනීමට නොහැකි තත්ත්වයකට වැඩි කරලා අරගලය සමයේ විනාශ වුණ මැති ඇමැතිවරුන්ගේ නිවාස හදන්න එක් අයෙකුට මිලියන 23 ක් ලබාදෙනවා.

එක එක කයිවාරු ගහපු මන්ත්‍රීවරු දැන් රනිල් වික්‍රමසිංහ පස්සෙන් රට රටවල විදේස් සංචාර යනවා. රනිල් වික්‍රමසිංහ හිරේ යනකන් නින්ද යන්නේ නෑ කියපු , ආපු නැති පොහොර නැවකට ඩොලර් මිලියන 6 ක් ලබාදුන්න මහින්දානන්ද අලුත්ගමගේ අද ජනාධිපති එක්ක රට රටවල සංචාරය කරනවා.

ඒ වගේම රට අගාධයකට ඇදලා දාලා ජනතාව පන්නා දැමූ ගෝඨාභය රාජපක්ෂට නිවසක් ලබාදීලා ඔහුට නැවත කරලියට එන්න පුලුවන් විදිහේ තැනැක් හදලා දුන්නෙත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා.

රටේ ආර්ථිකය අද තිබෙන තැනට ඇදලා දාන්න වැඩ කටයුතු කළ හිටපු මහබැංකු අධිපතිවරයා අජිත් නිවාඩ් කබ්රාල් වෙනුවෙන් කිසිදු නීතිමය පියවරක් අරගන්න රජය කටයුතු කරලා නෑ.

රට මේවැනි අගාධයකට ඇදලා දාපු ආර්ථික ඝාතකයන් වන ගෝඨාභය රාජපක්ෂ / නිවාඩ් කබ්රාල් වැනි පිරිස් නීතිය හමුවට ගෙනල්ලා ඔවුන්ට නිසි දඩුවම් ලබාදෙන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධයැයි කියන පුද්ගලයින් ගැන රටේ නැවැත කතා බහක් ඇතිවෙලා තියෙනවා.
ඒ අතර සුරේෂ් සලේ කියන පුද්ගලයාගේ නමත් කියවෙනවා. මේ සුරේෂ් සලේ කියන පුද්ගලයා සාගල රත්නායක සමඟ ඇමෙරිකාවේ ගිහින් කියලා ටයිම් පුවත් පත වාර්තා කරලා තිබුණා. මෙවැනි තත්ත්වයක් යටතේ කොහොමද එවැනි පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ. එය බරපතල ගැටලුවක්.

ඒ වගේම ජනතාව පිඩනයට පත් කර ජනතාව පාරට බහින එකට විරුද්ධව ජනතාව හිර කරන්න විවිධ පනත් ගෙන්නේ නැතුව රට මේ තත්ත්වයට ඇදලා දාමු පිරිස නීතිය හමුවට ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”