රෝහල් 10ක සෞඛ්‍ය සේවකයින් අදත් පැය 4ක් සේවාවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, සිය ගැටලු සම්බන්ධයෙන් ඊයේ (01) පැවැත්වීමට තිබූ සාකච්ඡාවට අවස්ථාව නොලැබීම නිසා අද (02) වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව අද උදෑසන 8 සිට දහවල් 12 දක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වනු ඇති.

මහනුවර ජාතික රෝහල, කුරුණෑගල, අනුරාධපුර, රත්නපුර යන ශික්ෂණ රෝහල් සහ බදුල්ල පළාත් මහ රෝහල යන රෝහල්වල ඊයේ සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක වුණේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන්නැයි ඉල්ලමින්.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ ජනාධිපති කාර්යාලයේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව හදිසි හේතුවක් මත අද පස්වරුව දක්වා කල් දැමූ බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය සඳහන් කළා.

ඒ හේතුවෙන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පැය 24 කින් කල් දමා පැය 4ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

වර්ජනය සඳහා ආර්ථික යුක්තිය ඉල්ලමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, රසායනාගාර ශිල්පීන්, ඖෂධවේදීන්, විකිරණවේදීන් ඇතුළු වෘත්තිය සමිති සාමාජිකයින් එක්ව සිටින බවට වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා සඳහන් කර සිටියේ වෘත්තීය සමිති ඉල්ලීම් ලබාදීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවයි.

ඒ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදි පැවැත්වෙන බව ඔහු සඳහන් කළා.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එම සාකච්ඡාවට සහභාගි වීමට නියමිතයි.

අද සාකච්ඡාවෙන් සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් නොලැබෙන්නේ නම් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය අවධාරණය කර සිටිනවා.

මේ අතර හෙද සේවයේ පවතින ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමින් අද පැය 3ක් සේවාවලින් ඉවත් වී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය පවසා සිටියා.

සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.ජී. මැදිවත්ත මහතා සඳහන් කළේ, අද උදෑසන 10 සිට පස්වරු 1 එක්වා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක වන බවයි.

වැටුප් ගැටලුව විසඳීම, නිල ඇඳුම් දීමනා ලබා දීම ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් මේ ක්‍රියාමාර්ගය ගෙන තිබෙනවා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව දිවයිනේ ප්‍රධාන රෝහල් 50ක් ඉදිරිපිට විරෝධතා ද සංවිධානය කර ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පැවසු අතර ප්‍රධාන විරෝධතාව කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්වීමට නියමිතයි.