සෙනසුරාදා රාත්‍රී සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ නිවස වටකොට ඇයට තර්ජනාත්මක ලෙස බැණ අඩගසමින් වියරුවෙන්, සහ හිංසාකාරී ලෙස පොහොට්ටුවට සම්බන්ධ පිරිසකගේ හැසිරීම එකී හැසිරීමෙහි භාවිතයට උරුම වූ පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.
සෙනසුරාදා පස්වරුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ප්‍රමුඛ සමගි වනිතා බලවේගයේ කාන්තාවන් පිරිසක් ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට ගොස් ලිපියක් භාර දීමත් ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයක යෙදීමත් හේතුකොටගෙන වියරු වැටී ඇති සාහසික කණ්ඩායමක ප්‍රතිචාරයක් ලෙස එය අප වඩාත් සැලකිල්ලට ගන්නා අතර ජාත්‍යන්තර කාන්තා දිනය ට දින තුනක් තිබියදී පොහොට්ටුවට සම්බන්ධ පිරිස් විසින් කරනු ලැබූ එම හැසිරීම තුළින් ගම්‍යවන්නේ මේ රටේ සියයට පනස් දෙකක් වූ කාන්තාවන් අරඹයා ඔවුන්ගේ තක්සේරුව බවද අප විශ්වාස කරමු.
සමස්ත රටත්,කාන්තා පරපුරත් අද දවසේ මුහුණ දෙමින් සිටින අප්‍රමාණ ප්‍රශ්න පිළිබඳව මේ රටේ ජනාධිපතිවරයාව දැනුවත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන් ලෙස අප සතු අයිතියක් බවත් ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය කිසිවෙකුට කිසි ලෙසකින් උල්ලංඝනය කළ නොහැකි බවත් අප අවධාරණය කරමු.
ප්‍රජාතන්ත්‍රවාදී විරෝධයකට සහ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමකට  ආණ්ඩු පාර්ශවයෙන් ලැබෙන ප්‍රතිචාරය ප්‍රචණ්ඩත්වය සහ තර්ජනාංගුලිය නම් එවන් රටක හෙට දවස පිළිබඳව ඇති බිහිසුණු චිත්‍රය පිළිබඳව අවබෝධයක් ලබාගත හැක.
එක් අතකින් මවක් ලෙසත්,බිරිදක් ලෙසත්,දියණියක් ලෙසත්,කාන්තාවක් ලෙසත් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඉලක්ක කොටගෙන ඇයගේ නිවස ඉදිරිපිට කලහාකාරි ලෙස සහ හිංසාකාරී ලෙස පොහොට්ටුව නියෝජනය කරන කල්ලියක් විසින් කරනු ලැබූ හැසිරීම අනුමත කළ හැකි අයෙක් වෙත්නම් ශිෂ්ට සම්පන්න සමාජයකට වඩා ගෝත්‍රික සමාජයක හැසිරීමකට සමීප බව ද අප අවධාරණය කරමු.