වත්මන් ආණ්ඩුව රටේ ප්‍රශ්න විසදනවා වෙනුවට ප්‍රශ්නය දිග්ගස්සන්නට රජය කටයුතු කරමීන් සිටින බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පවසයි .

මන්ත්‍රීවරයා වැඩි දුරටත් කියා සිටියේ ,

“මේ මොහොත වන විට රටේ ජනතාව විශාල දුකක් වගේම බරක් දරමින් සිටිනවා. නිදහසෙන් පසුව මේ රටේ නායකයින්ට භාර දුන්නට පසුව අද වන විට නැවත පෝලිම් යුගයක් ඇතිවෙලා. මේ රටේ පුරවැසියන්ට ණය බරක් උරුම කරලා. අද මේ රටේ ප්‍රශ්න විසඳනවා වෙනුවට බොරුවක් කියලා ප්‍රශ්නය දිග්ගස්සන්නට රජය කටයුතු කරමීන් සිටින බව” මන්ත්‍රීවරයා කියා සිටියේය .

තව දුරටත් පැවසූ නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා ,

“අපි දැක්කා තෙල් අර්බුදය නිසා ජනතාව පෝලිම් වල දවස් ගණන් දුක් විඳලා තෙල් ටික ගන්නට වෑයම් කරන ආකාරය එය ජනතාවගේ දුක පමණක් නෙමෙයි ආර්ථිකයටත් මරු පහරක් වන බව අපි සියලු දෙනා දන්නවා. ගොවියට ගොයම් ටික කපාගන්න ඉන්ධන නැහැ. ධීවරයාට මුහුදු යන්න තෙල් ටික නැහැ. ඒ වගේම මේ රටේ අපනයන කර්මාන්තයට සංචාරක කර්මාන්ත ඇතුළු මේ ආර්ථිකයට අවශ්‍ය තෙල් ටික දී ගන්නට රජය අසමත් වෙලා තියෙනවා. දැන් අපි දකිනවා අගමැතිතුමා ඇවිත් කියනවා මේ තෙල් පෝලිම් හැදුනේ බලශක්ති ඇමතිතුමා දවස් තුන හතරකට පමණක් මේ රටේ තෙල් තියෙනවා කියපු නැති නිසා කියලා එහිදී අපිට අහන්න සිදු වෙනවා මේ රජයේ සියලූ දෙනාම එකතුවෙලා මේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කළේ නැද්ද කියලා . මේ ප්‍රශ්නය ඇති උනාම අන්තිමට ඒ අමාත්‍යවරයා අයින් කරලා ඒ පිටින් මේ ප්‍රශ්නය දාලා රජය ඇඟ බේරගන්න හදනවා . දැන් බලශක්තිය ඇමතිවරයාව අයින් කරල දින ගාණක් ගියත් තවම මේ රටේ තෙල් පෝලිම් ප්‍රශ්නය විසඳිලා නැහැ. අපි දැක්කා විදුලිය කපන ප්‍රශ්නය දී ආණ්ඩුව කොයිතරම් පම්පෝරි ගැහුවත් අදටත් විදුලිය කැපීමට රජය කටයුතු කරනවා ” යැයි මන්ත්‍රීවරයා පැවසීය .

මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්‍යලයේ දීය .