ඉන්දීය ක්‍රිකට් හිටපු නායක මොහොමඩ් අසාරුදීන්ට සහ හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමයේ හිටපු නිලධාරීන් කිහිප දෙනෙකුට සාවද්‍ය මුදල් පරිහරණය යන චෝදනාව මත නඩු පවරා ඇති බව උප්පල් පොලිසිය ප්‍රකාශ කරනවා.

හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී සුනිල් කන්ටේ බෝස් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, හයිද්‍රාබාද් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති අසාරුදීන් සහ හිටපු නිලධාරීන්ට එරෙහිව උප්පල් පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර ඇත.

මේ අතර, අසාරුදීන් තමාට එරෙහිව එල්ල කර ඇති චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත චෝදනා බවත් සුදුසු වෙලාවක ඒ සඳහා පිළිතුරු ලබාදෙන බව පවසනවා.

‘මම මේ චෝදනාවලට කිසිසේත් සම්බන්ධ නෑ. මට එල්ල වී ඇති චේතනාන්විත චෝදනාවලට මම නිසි අවස්ථාවේ පිළිතුරු දෙනවා. මෙය මගේ කීර්ති නාමය විනාශ කරන්න ප්‍රතිවාදීන් විසින් කරන ලද ප්‍රයෝගයක් පමණයි’ අසාරුදීන් වැඩිදුරටත් පවසා තිබෙනවා.

පැමිණිලිකරු පවසා ඇත්තේ රජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ගිනි නිවීමේ උපකරණ සවි කිරීම සම්බන්ධයෙන් හිටපු නිලධාරී මණ්ඩලය සමග එක්ව තුන්වන පාර්ශ්ව ව්‍යපාරිකයකු දූෂිත ගනුදෙනුවක නිරතව ඇති බවයි.