දරුවන් ඉගෙනුම ලබන පාසල්වලට සුහුරු පන්ති කාමරයක් හෝ ස්මාර්ට් බෝඩ් එකක් දෙන්න බැරි රජය ජනතාවගේ මුදල් අනුමත කර ගෙන කිසිදු ප්‍රතිලාභයක් රටට නොලැබෙන ලෝක වටේ සංචාරයේ නිරත වන බවත් මොවුන් බලයේ සිටින විට තමන්ගේ බඩගෝස්තරවාදී දේශපාලනයේ පමණක් නිරත වෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පසුගිය කොවිඩ් සමයේ සිදු කළ සංගණයකට අනුව මාර්ගගත අධ්‍යාපනය ලැබීමට ඡංගම දුරකථනයක් හෝ ටැබ් යන්ත්‍රයක් හෝ පරිගණකයකට ප්‍රවේශය තිබී ඇත්තේ සමස්ත දරු පරපුරෙන් සියයට 34ක් බවත් ඉතුරු සියයට 66ටම එම පහසුකම් නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දරුවන් නව තාක්ෂණයෙන් සන්නද්ධ කරනවා වෙනුවට එම මුදල්වලින් ඇමතිවරු සුරසැප විඳිනවා නම් එය දරුවන්ගේ මූලික අයිතිය සහ මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් සුහුරු රටක් ගොඩ නැගීමට නම් සුහුරු අධ්‍යාපනයක් තිබිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරනය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද අනුරාධපුර පලාගල මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 107 වැනි අදියට යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි

අලි මිනිස් ගැටුමට තිරසර විසඳුමක්

අලි මිනිස් ගැටුම නිසා මිනිස් මෙන්ම අලින්ගේ ජීවිත ද නිවාස හා දේපල අහිමි වන බවත් ඒ සඳහා සමගි ජන බලවේගයට විසදුමක් ඇති බවත් මිනිස් ජිවිත, වන සම්පත රැකගෙන ප්‍රජා කේන්ද්‍රීය පරිසර සංරක්ෂණ වැඩසටහනක් හරහා මේ ගැටුම පාලනය කළ හැකි බවත් ඒ තුළින් සංචාරක කර්මාන්තය ද ඉහළ යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ තුළින් ගොවිතැන දේපල මිනිස් ජීවිත රැකී සංචාරක කර්මාන්තය පවා ඉහළ යන බවත් එය ප්‍රජා කේන්ද්‍රිය තිරසර පරිසර සංචාරක කලාපයක් ඇති කිරීමක් බවත් මේ තුළින් මෙම ප්‍රදේශ සංවර්ධනය කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 107ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1065ක් වැය කර තිබේ.