වර්තමානයේ දී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉතාමත් අභියෝගාත්මක කාලවකවානුවක් පසුකරමින් සිටින බවත් කොරෝනා වසංගතය හමුවේ වසර 2 කට ආසන්න කාලයක් සිය දෛනික ව්‍යාපාර කටයුතු සිදු කිරීමට නොහැකි වීම තුළින් ආදායම් අහිමිව, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඇතුළු ඔවුන්ගෙන් යැපෙන පිරිස් ද දැඩි අසීරුතාවයන්ට මෙන්ම අභියෝගයන් රැසකට මුහුණ දීමට සිදු වී ඇතිි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(22)පාර්ලිමේන්තුවේ දී පැවසීය .27/2යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකතුමා වැඩිදුරටත් පවසා සිටියේ ආර්ථිකය කළමණාකරණයේ දී ප්‍රමුඛතාවය ලබා දිය යුතු පාර්ශව රජය විසින් හඳුනා නොගැනීම නිසා මෙම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ගේ ගැටළු තවදුරටත් උග්‍ර වී ඇති බවය.


ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නය
වර්තමානයේ දී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉතාමත් අභියෝගාත්මක කාලවකවානුවක් පසුකරමින් සිටියි.


ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු කරුණක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි. 
1.      2019.12.20 වැනි දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් ලබාගත් රුපියල් මිලියන 300ක් දක්වා වූ ණය කපා හැරීම සඳහා ජනාධිපතිතුමා විසින් ගනු ලැබූ තීරණයට සිදු වූයේ කුමක්ද? මේ වනතෙක් එම තීරණය ක්‍රියාත්මක නොවූයේ ඇයි? සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ කර්මාන්තකරුවන්ගේ ණය ආපසු ගෙවීම් සඳහා සහන ලබා දෙන බවට සඳහන් කර තිබුන ද එය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක නොවූයේ ඇයි? 

2.                  කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මේ වනවිට ලබා දී ඇති ණය සහන කාලසීමාව (Moratorium) 2021.12.31 දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු කරන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත දැනුම් දී තිබේ. මෙම ණය සහනය කොපමණ සංඛ්‍යාවකට මේ වනවිට ලැබී තිබේද? ඒ පිළිබඳව රජය යම් තක්සේරුවක් සිදුකර තිබේද? ඇතැම් මූල්‍ය ආයතන විසින් මෙම ණය සහනය සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙත ලබා දීම පැහැර හැර ඇති බව රජය දන්නේ ද? එසේනම්, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? තවද ඇතැම් මූල්‍ය ආයතන ණය පොලී, තවත් ණය මුදලක් බවට පරිවර්තනය කරමින් ව්‍යවසායකයින් සූරා කෑමකට ලක් කර ඇති බවට තොරතුරු වාර්තා වේ. මේ පිළිබඳව රජය දැනුවත් ද? එසේනම්, මෙය වළක්වාලීම සඳහා රජය මගින් ගෙන ඇති පියවර කවරේද? 

3.               මෙම තත්ත්වය හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් රථවාහන සඳහා ලබාගත් ලිසීං ණයවාරික ගෙවීමට නොහැකි වන අවස්ථාවන්හි දී ඇතැම් මූල්‍ය ආයතන තර්ජනාත්මක ආකාරයෙන් සිය කටයුතු මෙහෙයවමින් වාහන පැහැර ගැනීම් සිදු කරන බවට ද තොරතුරු වාර්තා වේ. මේ පිළිබඳව රජය දැනුවත් ද? එසේම, වාහන විකිණීමෙන් හෝ ලබාගත් ලීසිං ණය වාරික සඳහා ගෙවීම් කිරීමට සුදානම් වන අවස්ථාවන්හිදී අපහැදිලි මූල්‍ය කොන්දේසි ඉදිරිපත් කරමින් කර්මාන්තකරුවන් අපහසුතාවයට පත් කරන බව රජය දන්නේ ද? එසේනම්, ඒ සම්බන්ධයෙන් මේ වනවිට පැමිණිලි කොපමණ සංඛ්‍යාවක් ලැබී තිබේද? එම පැමිණිලි සඳහා විමර්ශනයක් සිදු කර තිබේද? එලෙස කර්මාන්තකරුවන් අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු සිදු කරන මූල්‍ය ආයතනයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද?

4.                  නිශ්චල දේපළ ඇපයට තබමින් ව්‍යාපාර කටයුතු සඳහා ලබාගත් ණය මුදල් මේ වනවිට ගෙවීමට නොහැකිව ඇතැමුන්ට සිය ජීවිත කාලය තුළදී උපයාගත් සියලු දේපළ බැංකු හා මූල්‍ය ආයතන වෙත බිළිදීමට සිදුව ඇත. ඇතැම් මූල්‍ය ආයතන විසින් වෙන්දේසි කිරීමේ දී නිශ්චල දේපළයන්හි සත්‍ය වටිනාකමට වඩා අඩු වටිනාකමකට තක්සේරු කර එම දේපළ සිය හිතවත් ව්‍යාපාරිකයින් වෙත ලබා දීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව රජය දන්නේ ද? එසේනම්, මෙය  වළක්වාලීම සඳහා රජය විසින් ගෙන ඇති පියවර කවරේද? දේපළ හිමියන්ට නියම වටිනාකම ලබාගත හැකි පරිදි දෙපාර්ශවයම එකඟවන නිසි ක්‍රමවේදයක් සකස් කළ නොහැකිද? මෙම ව්‍යසනකාරී කාලසීමාව තුළ ණය නොගෙවීම හේතුකොට ගෙන බොහෝ ව්‍යවසායකයින් අසාදුලේඛණ ගතව (CRIB) ඇත. මේ නිසාවෙන් බැංකු අයිරා හෝ කිසිදු ප්‍රාග්ධන ණය මුදලක්වත් ලබා ගැනීමට නොහැකිව බොහෝ පිරිස් අසරණ තත්ත්වයකට පත්ව තිබේ. සත්‍ය වශයෙන්ම කොවිඩ් වසංගතයේ බලපෑම හේතුකොට ගෙන අසාදු ලේඛන ගතව ඇති ව්‍යවසායකයින් කොපමණ සංඛ්‍යාවක් සිටීද? මොවුන් සඳහා යම් සහනයක් ලබාදීමට රජය බලාපොරොත්තු වේද? එසේනම්, ඒ කුමක්ද?

5.                  වාරික ගෙවා නොමැති මිලියන 5 ඉක්මවූ ණය සඳහා උකසට තබා ඇති දේපළ 1990 අංක 4 දරණ බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත (පරාටේ පනත) මගින් ලබා දී ඇති බලතල අනුව අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව මූල්‍ය ආයතන වලට සින්න කර ගැනීම සිදු කරයි. මෙම ව්‍යසනකාරී අවස්ථාව සලකා බලා පරාටේ පනත සංශෝධනය කරමින් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රැක ගැනීමට රජය දැන්වත් උත්සාහ කරන්නේ ද? පරාටේ පනතේ සඳහන් වන මිලියන 5 ක්වූ ණය සීමාව මිලියන 100ක් දක්වා හෝ ඉහළ නැංවීමට හැකිද? නොඑසේනම්, ඒ මන්ද? 

6.                  මීට අමතරව, වර්තමානයේ දැඩි ලෙස ආනයන සීමා කිරීම නිසා සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේ  දී ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ. එය අපනයන ආදායම අඩු වීමට හේතුවක් මෙන්ම රටේ ආර්ථිකය දරුණු ලෙස බිඳ වැටීමකට ලක් කරයි. බිඳ වැටීමට ලක්ව ඇති මෙම ව්‍යාපාර නැවත නඟා සිටුවීම සඳහා විශේෂ සහන පැකේජයක් ලබා දීමට රජය ක්‍රියා කරන්නේ ද? ඒ සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙලක් රජය සතුවේද? එසේනම්, ඒ කුමක්ද?