දේශපාලනඥයන්ගේ රැවටිලි බස්, සුරංගනා කතා, වහසිබස්වල වහල් වී දේශපාලන බලවතුන්ගේ එහෙයියන් බවට පත් වූ යුගය අහෝසි කළ යුතු බවත් දේශපාලනික ආගමික සමාජයීය සංස්කෘතික ආර්ථික, අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතිය යන සෑම අයිතියක් උදෙසාම සුදුසු වටපිටාව වාතාවරණය සකස් කිරීමෙන් පුරවැසියන්ගේ දක්ෂතාව හැකියාව නිපුණතාව තුළ ඉහළටම යා හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 128 වැනි අදියර යටතේ අද මාතර අකුරැස්ස ලේනම කණිෂ්ඨ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මේ අවස්ථාවේ දී පාසලේ නර්තන කණ්ඩායම සඳහා ඇඳුම් ලබා ගැනීමට රුපියල් ලක්ෂයක මුදලක් ද ලබා දුන්නේය.

රටේ 40000ක විරැකියා පෝළිමක් ඇත්තේ අධ්‍යාපනයේ ඇති දුබලතා නිසා

මේ මොහොත වන විට අප රටේ 40000කට ආසන්න උපාධිධාරීන් රැකියා නොමැතිව සිටින බවත් නිදහස් අධ්‍යාපනයේ අරුනළු ලබා විශ්වවිද්‍යාවලට ගොස් 40000ක් රැකියා පෝළිමට යොමු කිරිමට සාධරණ නොවන බවත් විරැකියා පෝළිමට මේ 40000 යොමු වන්නේ අධ්‍යාපන ක්‍රමයේ ඇති දුබලතා නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ශ්‍රී ලංකාව අංක 1ට ගෙන ඒමේ ප්‍රතිපත්තිය කර යාමට නම් ඉංග්‍රීසි භාෂා හා තොරතුරු තාක්ෂණ සාක්රෂතාව පරිගණක විද්‍යා සාක්ෂරතාව ඉහළට ගෙන ආ යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය සතුව සුවිශේෂි වැඩපිළිවෙළක් ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සුහුරු රටක් ගොඩ නැගීමේ දී අධ්‍යාපන පවා සුහුරු විය යුතු නිසා සමගි ජන බලවේගය සුහුරු අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරන බවත් ඒ තුළින් සුහුරු ගෝලීය පුරවැසියකු බිහි කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආයෝජකයෝ අපේ රටට එන්නේ නිපුණතා සහිත ශ්‍රම බලකායක් ඇත්නම් විතරයි

ආයෝජකයක් අප රටට එන්නේ සුහුරු නිපුණතා සහිත ශ්‍රම බලකායක් නිර්මාණය වුවහොත් පමණක් නිසා නිපුණතාව කුසලතාව සහිත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම අපගේ වගකීම බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය දැනටමත් කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 57කට රුපියල් ලක්ෂ 1766ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 84 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 86ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4192ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 128ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1282ක් වැය කර තිබේ.