පසුගිය දින කිහිපය තුළ සියදිවි හානි කරගැනිම් 50 ක් පමණ සිදුවී ඇති බවත් එම සියදිවි හානි කර ගැනිම් බොහෝමයකට හේතුව රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙසේ පැවැසීය.

ජනාධිපතිවරණයක් පවත්වන්න සුදුසු වාතාවරණයක් තිබෙනවාද යන්න පිළිබඳ සොයාබැලීමට පෙර රටේ ජනතාව පත්ව ඇති පිඩනයට වහාම විසඳුම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් නලින් බණ්ඩාර මහතා කීය.

රටේ සැබැ ප්‍රශ්න හඳුනාගත් ආණ්ඩුවක් රටට අවශ්‍ය වී ඇති බවත් රට බංකොලොත් කළ පිරිස සමඟ සිටිමින් ජනාධිපතිවරයාට රට ගොඩගන්න නොහැකි බවත් රටේ ජනතාවට අත්වී තිබෙන ඉරණම පිළිබඳව සමගි ජන බලවේගයට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට වැටහෙන බවත් රටට අවශ්‍ය කර තිබෙන්නේ සංදර්ශන කාරයෝ නොව රට වැටී තිබෙන අගාධයෙන් ගොඩගන්න පුලුවන් පිරිසක් බවත් නලින් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනවාරි 30 වැනිදා දැවැත්ත ආණ්ඩු විරෝධි අරගලයක් ආරම්භ කරන බවත් රටේ ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු උපරිම කැප කිරිම සිදුකිරිමට සහ මානුෂිය ධනවාදය ක්‍රියාත්මක කරන රටක් නිර්මාණය කරන්න සමගි ජනබලවේගය කටයුතු කරන බවත් ඒ මහතා හෙතෙම පැවැසීය.

අද (16) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ පිළිබඳව අදහස් දැක්වීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මෙසේ පැවැසීය.

‘‘පසුගිය සති දෙක ඇතුළත සියදිවි හානි කරගැනිම් 50 ක් පමණ සිදුවෙලා තිබෙනවා. මේ සියදිවි හානි කර ගැනිම්වලට හේතුව රටේ තිබෙන ආර්ථික ප්‍රශ්න. ජනතාවට ණය ගෙවා ගන්න නොහැකිව , තමන්ගේ පවුල නඩත්තු කර ගැනීමට නොහැකිව , දරුවන්ට කැම ලබාදිමට නොහැකිව , තමන්ගේ දේපළ බැංකුවලට වෙන්දේසි වෙද්දි ඒවා බේරගන්න විදිහක් නැතිව , රත්තරන් බඩු වෙන්දේසි වෙද්දි ඒවා බේරගන්න විදිහක් නැතිව ජනතාව දැඩි පීඩනයකට පත් වෙලා තිබෙනවා. නමුත් ආණ්ඩුව මේ ගැන කිසිදු තැකිමක් කරන්නේ නෑ.

එක්සත් ජාතික පක්ෂය දිස්ත්‍රික්කවලට ගමන් කරමින් ජනතාව ජිවත්වන ආකාරය පිළිබඳව නෙවෙයි මැතිවරණයක් තියන්න සුදුසු පරිසරයක් තිබෙනවාද කියලා තමයි ඔවුන් සොයාබලන්නේ. නමුත් ආණ්ඩුවට හෝ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය නෙවෙයි ප්‍රාදේශිය සභා මැතිවරණයක්වත් දිනාගන්න වෙන්නේ නෑ. ජනාධිපතිවරණයක් පවත්වන්න සුදුසු වාතාවරණය පිළිබඳ සොයාබලන්න කලින් රටේ ජනතාව පත්ව ඇති පිඩනයට වහාම විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතුයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන ආකාරයට කටයුතු කරලා වැට් බද්ද වැඩි කිරිමෙන් ජනතාව පීඩනයට පත් වෙලා තිබෙන්නේ.

රටේ සැබැ ප්‍රශ්න හඳුනාගත් ආණ්ඩුවක් රටට අවශ්‍ය වෙලා තිබෙනවා. රට බංකොලොත් කළ පිරිස සමඟ සිටිමින් ජනාධිපතිවරයාට රට ගොඩගන්න බෑ. මිනිසුන්ගේ වේදනාව ඔවුන්ට තේරුම් ගන්න බෑ. රටේ ජනතාවට අත්වී තිබෙන ඉරණම පිළිබඳව සමගි ජන බලවේගයට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හොදින් දැනෙනවා. රටට අවශ්‍ය කරලා තිබෙන්නේ සංදර්ශන කාරයෝ නෙවෙයි. වැඩක් කරන්න පුලුවන් රට වැටිලා තිබෙන අගාධයෙන් ගොඩගන්න පුලුවන් පිරිසක්.

සමගි ජනබලවේගය ගජමිතුරු ධනවාදය නෙවෙයි මානුෂිය ධනවාදය අනුගමනය කරන රටට ගැලපෙන ආර්ථික වැඩපිළිවලෙක් ක්‍රියාත්මක කරන්න පුලුවන් පක්ෂයක් තමයි සමගි ජන බලවේගය. සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසටත් ඒ දර්ශනය ඒ හැකියාව තිබෙනවා.

ජනවාරි 30 වැනිදා දැවැත්ත ආණ්ඩු විරෝධි අරගලයක් ආරම්භ කරනවා. රටේ ජනතාව වෙනුවෙන් සිදුකළ යුතු උපරිම කැප කිරිම කරන්න සමගි ජනබලවේගය පක්ෂයක් ලෙස කටයුතු කරනවා. රටේ පොඩි මිනිහා ගැන හිතන මානුෂිය ධනවාදය ක්‍රියාත්මක කරන රටක් නිර්මාණය කරන්න සමගි ජනබලවේගය කටයුතු කරනවා. සමගි ජන බලවේගයට රටේ සියලුම දිස්ත්‍රික්කවල යාන්ත්‍රණයක් තිබෙන සංවිධානයක් තිබෙන පක්ෂයක්. සමගි ජන බලවේගයේ අරමුණ බහුතර බලයක් තිබෙන ආණ්ඩුවක් බිහිකිරිම.‘‘