මානව හිතවාදී කලාකරුවකු මෙන්ම ජනතා නියෝජිතයකු වන රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම පිළිබඳව සිය ස්තුතිය පුද කරන බවත්,එහෙත් රන්ජන් රාමනායක මහතාට ලබා දී ඇත්තේ අර්ධ නිදහසක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෙසේවෙතත් රන්ජන් රාමනායක මහතා නිදහස ලබාගැනීම පිළිබඳව මුළු රට සමග තමන් ද අතිශයින් සතුටට පත්වන බව පැවසූ විපක්ෂ නායකතුමා එතුමාට මහජන නියෝජිතයකු ලෙස සමාජ සේවයේ යෙදීම සඳහා පූර්ණ නිදහස ලබා දෙන ලෙස නැවත වතාවක් ඉල්ලා සිටින බවද පැවසීය.

සිරගතව සිටි රන්ජන් රාමනායක මහතා නිදහස ලබා පැමිණෙන තුරු අතිවිශාල පිරිසක් බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන බලා සිටියහ.

ඒ මහතා නිදහස් වීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ අතිවිශාල පිරිසක් විසින් උණුසුම්ව පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව ඒ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ ගංගාරාම විහාරස්ථානය ට ගොස් ආශිර්වාද ලබා ගත්තේය.

ඉන් පසු රන්ජන් රාමනායක මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වීය.